මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයතනවල ප්‍රගතියක් නොපෙන්වන නිළධාරීන් සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පසුබට වෙන්නේ නෑ - ඇමති ප්‍රසන්න රණතුංග  

    ජූලි 13, 2023

    තම අමාත්‍යංශය යටතේ ඇති සෑම ආයතන ප්‍රධානියෙකුම තමන්ගේ ආයතනය තුලින් වාර්ෂිකව ආදායම ඉපයීම සම්බන්ධයෙන් සැලසුමක් සැකසිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    එසේ සැලසුම් සකස්කර ඒවා ක්‍රියාත්මක කර ආයතනවල ප්‍රගතියක් නොපෙන්වන නිළධාරීන් සම්බන්ධයෙන් තීන්දු ගැනීමට තමන් පසුබට නොවන බවද අමාත්‍යවරයා කීවේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ රජයේ කර්මාන්තශාලා වෘත්තීය සමිති සමඟ බත්තරමුල්ල, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී (12) පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

    රජයේ කර්මාන්තශාලා‍ දෙපාර්තමේන්තුවේ වර්තමාන තත්ත්වය හා ඉන් පැන නැගී ඇති සේවක ගැටළු ඉදිරිපත් කිරීම සඳහා මෙම සාකච්ඡාව පැවැත්විණි.

    කොලොන්නාවේ පිහිටා ඇති රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුවට වසර සියයකට ආසන්න ඉතිහාසයක් ඇත. පොලිස් නිළධාරීන්ගේ නිළ ඇඳුමේ පළඳවන නිළ මුද්‍රාවන්, වැව් සඳහා වාන් දොරටු නිෂ්පාදනය, රෝහල් උපකරණ, මාංචු කූට්ටම්, ඡන්ද පෙට්ටි ආදිය නිපදවනු ලබන්නේ මෙම දෙපාර්තමේන්තුව මගිනි.

    එහෙත් ඉකුත් සමයේ පැවැති අයහපත් පාලනය හා දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඇතැම් ඉහළ නිළධාරීන්ගේ අක්‍රමවත් පාලනය හේතුවෙන් මේ වනවිට දෙපාර්තමේන්තුව දැඩි අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇති බව මෙහිදී වෘත්තීය සමිති එකමුතුව අමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.

    ඒ හේතුවෙන් රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව තවදුරටත් පවත්වාගෙන යෑම අසීරු බව පෙන්වා දුන් වෘත්තීය සමිති නියෝජිතයෝ දෙපාර්තමේන්තුව ආරක්ෂා කර ගැනීමට නම් එය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවද පෙන්වා දුන්හ.

    එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ එක්වරම එවන් තීරණයකට නොගොස් දෙපාර්තමේන්තුව ආරක්ෂා කළ යුතු ක්‍රියාමාර්ග ගැන අවධානය යොමුකරමින් යම් වැඩ පිළිවෙලක් සැකසිය යුතු බවයි. ඒ සඳහා ආයතනයේ සේවයේ නියුතු සියළුම සේවක සංඛ්‍යාව හා එමඟින් සිදුකරනු ලබන නිෂ්පාදනයන් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් තමන් වෙත ලබාදෙන ලෙසයි.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා‍ මෙසේද පැවසීය.
    මේ ආයතන ගොඩ ගන්න පුළුවන්. පසුගිය සමයේදී රටම දැවැන්ත ආර්ථික අර්බුධයකට මුහුණ දුන්නා. දැන් අපි ටිකෙන් ටික හිස ඔසවගෙන එනවා. රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව මගින් රටට අවශ්‍ය සම්පත් ටික නිෂ්පාදනය කරගන්න පුළුවන්. පළාත් සභා, පළාත් පාලන ආයතන මගින් ටික ටික වැඩ පටන්ගෙන තිබෙනවා. ඒ ආයතන සමඟ එකතුවෙලා වැඩ කරලා මේ ආයතනය කොහොම හරි ගොඩගන්න බලමු.

    බොහෝ ආයතන විනාශ වෙන්නේ දේශපාලන බලපෑම් නිසාම නෙවෙයි. නිළධාරී වාදය නිසා. අල්ලස, දූෂණය, නාස්තිය සම්බන්ධයෙන් මුළු රටේම මිනිස්සු පාර්ලිමේන්තුවේ ඉන්න 225ට බණිනවා. මේ පරිහානියට දේශපාලනඥයන් විතරක් නෙමෙයි. රාජ්‍ය නිළධාරීන් සහ රජයේ සේවයේ නියුතු සේවකයනුත් වගකිව යුතුයි. ආයතනයක පොඩි මිනිහෙක් ඇණයක් ගෙනිච්චත් ලියුම් ගහල ඒ මිනිහ අයින් කරල දමනවා. හැබැයි නිළධාරීන් වැරැද්දක් කළාම ඒ ගැන කතා කරන්න කිසිම කෙනෙක් නැහැ. මේ හුඟාක් රාජ්‍ය ආයතනවල පරිහානියට ඉහළම නිළධාරියාගේ පටන් පහළම නිළධාරියා දක්වා වගකිව යුතුයි.


    ඒක නිසා තමන්ගේ ආයතනය තුලින් වාර්ෂික ආදායම උපද්දවන්න ආයතන ප්‍රධානීන් සැලැස්මක් හදන්න ඕන. සැලසුම් හදල විතරක් ඒවා ක්‍රියාත්මක කරල ප්‍රගතිය පෙන්වන්නත් ඕන. එහෙම නොවුනොත් මම ඒ නිළධාරීන් සම්බන්ධයෙන් තීන්දු ගන්න මම පසුබට වෙන්නේ නැහැ. දේශපාලනඥයෙක් විදියට මම සතුටු වෙනවා. ආයතනය රැක ගැනීම වෙනුවෙන් සියළුම වෘත්තීය සමිති තමන්ගේ දේශපාලනය අමතක කරල එකම මතයකට ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කරපු එක ගැන. අන්න ඒ ආකල්පමය වෙනස තමයි අවශ්‍ය. සමහර තැන්වලදි අපිට අඩියක් පස්සට ගන්න වෙනවා. හොඳ චේතනාවකින් කරන වැඩක් නිසා ඒක පරාජයක් නෙමෙයි. ආයතනයක් දියුණු කරන්න අදහස් හා යෝජනා ලබාගන්න ඕන ඒ ආයතනයේ සේවය කරන සේවකයන්ගෙන්මයි. මොකද එයාල තමයි ආයතනයෙන් සිද්ධ වෙන වැඩ ගැන හා ආයතනය ගැන දන්නේ. සමහරවිට අපිට පරිපාලන රෙගුලාසි වෙනස් කරන්න වෙනවා. ඒ තීන්දු අපි ගනිමු. මම ඔය සෑම කෙනෙක්ටම ඇහුම්කන් දෙනවා. ඒක නිසා මාත් එක්ක කතා කරන්න, තොරතුරු දෙන්න බය වෙන්න එපා යැයිද සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya