මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර නව අධිකරණ සංකීර්ණය ජනපති අතින් ජනතා අයිතියට

    ජූලි 12, 2023

    රුපියල් මිලියන 1500ක වියදමින් ඉදි කළ රත්නපුර නව අධිකරණ සංකීර්ණය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය, විජයදාස රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023 ජූලි 11 වන දින පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

    නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙන් වු සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව සර්ව ආගමික ආශිර්වාද එක් කිරීම සිදු කෙරුනු අතර එහිදී බෞද්ධ ආගමික ආශිර්වාදයන් එක් කිරීම ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී පාදස්ථානාධිපති, අති පූජ්‍ය බෙංගමුවේ රතනපාල ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කළහ.

    රන්තපුර නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

    දැනට පවතින අධිකරණය ගොඩනැගිලි යල්පැනගිය ස්වභාවයක් ගැනීම, අධිකරණය පිහිටි භූමිය නායයාමේ අවධානමක් පැවතීම, වර්තමාන අධිකරණ ක්‍රියාවලීන් සඳහා එම ගොඩනැගිලි වල ඉඩකඩ හා පහසුකම් ප්‍රමාණවත් නොවීම යන හේතූන් සලකා බලා නවීන පහසුකම් වලින් යුතු ගොඩනැගිල්ලකින් සමන්විත අධිකරණ සංකීර්ණයක් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් කලක පටන් පැන නැගී තිබිණ. ඒ අනුව වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවවරයාව සිටියදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් මඟින් රත්නපුර නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීම 2018 සැප්තැම්බර් 10 වන දින ආරම්භ කරන ලදී.

    ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවා සැපයීම සහ ඉදිකිරීම් භාර කොන්ත්‍රාත්කරු ලෙස ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කටයුතු කරනු ලැබීය. ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1500ක් පමණ මුදලක් වැය කර ඇති අතර පවතින අභියෝගාත්මක ආර්ථික තත්වයක් හමුවේ මෙම නව අධිකරණ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ අත්‍යාවශ්‍ය නොවන විියදම් සීමා කරමින් කාලීන අංගයන් පමණක් ඇතුලත් වන සේ ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.

    මහල් හතරකින් සමන්විත මෙම අධිකරණ ගොඩනැගිල්ල තුළ මහාධිකරණ දෙකක්, සිවිල් අභියාචනා මහාධිකරණයක්, දිසා අධිකරණ දෙකක්, මහේස්ත්‍රාත් අධිකරණ දෙකක්, කම්කරු විනිශ්චයාධිකාරයක්, නීති ආධාර මධ්‍යස්ථානයක් හා ප්‍රජා විශෝධන කාර්යාලයක් ඇතුළු අධිකරණ සඳහා අවශ්‍ය සියළු පහසුකම් වලින් සමන්විත වේ.

    මෙම අධිකරණ සංකීර්ණය ඉදිකිරීම මඟින් තැන තැන විසිරී පැවති අධිකරණයන් වෙනුවට රත්නපුර දිස්ත්‍රික් ජනතාවට එකම ගොඩනැගිල්ලක් තුළ සිය සේවා අවශ්‍යතා පහසුවෙන් ඉටුකර ගැනීමේ හැකියාව ලැබෙන අතර අධිකරණයන්හි පවතින තදබදය මඟහරවා ගැනීමටද ඉන් ඉඩකඩ ලැබේ.

    නීතියේ ආධිපත්‍ය රටතුළ ස්ථාපිත කිරීම සඳහාත් නීතිමය කටයුතු සම්බන්ධයෙන් මහජනයාගේ පවතින අයහපත් ආකල්පයන් දුරු කිරීම සඳහාත් නවීන තාක්ෂණය සහ පහසුකම්වලින් සමන්විත අධිකරණ පද්ධතියක් රටතුළ ස්ථාපිත කිරීමේ නව රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවට සමගාමීව යමින් මෙය ඉදිකර තිබේ

    ඇනිස්ටස් සංජන වීරරත්න පියතුමන් විසින් කතෝලික ආගමික ආශිර්වාදයන් සිදු කළ අතර, මුරුගන් පෙරුමාල් සාමිතුමන් හින්දු ආගමික ආශිර්වාදයන් සහ මොහොමඩ් සෆාන් මවුලවිතුමන් ඉස්ලාම් ආගමික ආශිර්වාද එක් කළහ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ , අග්‍රවිනිශ්චයකාර, ජනාධිපති නීතිඥ, ජයන්ත ජයසුරිය, අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, සබරගමුව පළාත් ආණ්ඩුකාර නීතිඥ, නවීන් දිසානායක, රත්නපුර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ, වසන්ත වීරසිංහ යන මහත්වරුන් නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය අමතමින් අදහස් පළ කළහ.

    රත්නපුර මහාධිකරණ, දිසා අධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණයන්හි විනිසුරුවරුන්, වනජීවී හා වන සංරක්ෂණ ඇමතිනී, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි, නීතිපති ජනාධිපති නීතිඥ, සංජය රාජරත්නම්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නීතිඥ තලතා අතුකෝරළ, නීතිඥ ජොන් සෙනෙවිරත්න, නීතිඥ වාසුදේව නානායක්කාර, අකිල එල්ලාවල, ගාමිණි වලේබොඩ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ, කෞශල්‍ය නවරත්න, එහි ලේකම් නීතිඥ, ඉසුරු බාලපටබැදි, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, රෝහණ හපුගස්වත්ත යන මහත්ම මහත්මීන්ඇතුළු රාජ්‍ය නිලධාරීන්, රත්නපුර නීතිඥ සංගමයේ සාමාජිකයින්, අධිකරණ කාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya