මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ව්‍යවසායික රාජ්‍යයක් නිර්මාණය කිරීම ජනපතිගේ අරමුණයි

    ජූලි 11, 2023
     “අස්වැසුම”  අවසන් ඉලක්කය දිළිඳු බවින් තොර රටක් නොව, දියුණු රටක්
     
     ඉදිරි වසර සඳහා අස්වැසුම ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අයදුම් පත් කැඳවීම  අගෝස්තු 01 දා සිට  - සමාජ සවිබලගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල්
    සුබසාධන රාජ්‍යයක සිට ව්‍යවසායික රාජ්‍යයක් දක්වා ශ්‍රී ලංකාව ගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  අරමුණ බවත් “අස්වැසුම” වැඩසටහනේ අවසන් ඉලක්කය සවිබල ගැන්වුණ ව්‍යවසායක ජාලයක් නිර්මාණය කිරීම බවත් රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පැවසීය. 
     
    “අස්වැසුම”  වැඩසටහනේ අවසන් අරමුණ වසර 2048 වන විට දිළිඳු බවින් තොර රටක් වෙනුවට දියුණු රටක් නිර්මාණය කිරීම බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    සමාජ සවිබලගැන්වීම් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා මේ බව සඳහන් කර සිටියේ අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති  "ස්ථාවර රටකට සැවොම එක මගකට" ප්‍රවෘත්ති  සාකච්ඡාවට එක්වෙමිනි. 
     
    මිලියන 1.2ක පමණ ජනතාව නිෂ්පාදන ආර්ථිකයට එක් කරමින් ඔවුන් සවිබල ගැන්වීමේ සැලසුම මෙම මස අවසන් වීමට පෙර ජනාධිපතිවරයාට  බාර දෙන බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා පාසල් යන වයසේ සිට වයස්ගත පුද්ගලයා දක්වා ආරක්ෂා කිරීම සහ සවිබලගැන්වීමේ වැඩපිළිවෙළ ඊට ඇතුළත් බව ද කියා සිටියේය.
     
    අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ කාලය පසුගිය 10 වනදායින් අවසන් වූ අතර එය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකළේ සුදුසුකම් ලැබූවන්ට ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වන නිසා බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා මෙවර අයදුම් කිරීමට නොහැකි වූ හෝ අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි වූවන්ට ලබන අගෝස්තු 01 වනදා සිට නැවතත් එම අවස්ථාව හිමි වන බවද සඳහන් කළේය. 
     
    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවෙල් මහතා මෙසේ ද පැවසීය.
     
    “අස්වැසුම” වැඩසටහන  අප හඳුන්වා දුන්නේ දීර්ඝ කාලයක් පුරා සමාජය තුළ පැවති විවේචනයකට පිළිතුරක් ලෙසයි. සමෘද්ධි ව්‍යාපාරය සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ දී විවිධ අක්‍රමිකතා ඇති වූ බවට චෝදනා එල්ල වුණා. විශේෂයෙන් සමෘද්ධි වැඩසටහන තුළ සමාජ සවිබලගැන්වීමේ ක්‍රමවේදයක් නොමැති බවට විපක්ෂයෙන් චෝදනා එල්ල වුණා. 
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව සමාජ සුබසාධක මණ්ඩලය විසින් “අස්වැසුම” වැඩසටහන ක්‍රියාත්මක කළේ සමාජ සවිබල ගැන්වීමේ ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණ ඇතිවයි. අස්වැසුම වැඩසටහන දේශපාලනයෙන් තොර විනිවිද පෙනෙන ක්‍රියාවලියක්. එම ක්‍රියාවලිය තුළම අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් තිබෙනවා. එසේම වාර්ෂිකව සුදුස්සන් ඇතුළත් කරගැනීමේ සහ නුසුදුසු පිරිස් ඉවත් කිරීමේ ක්‍රියාවලියත් ඊට ඇතුළත් වෙනවා. 
    මිලියන 1.2ක පමණ ජනතාව නිෂ්පාදන ආර්ථිකයට එක් කරමින්  සවිබල ගැන්වීමේ  කටයුත්ත ජනාධිපතිවරයා විසින් අපේ අමාත්‍යාංශයට භාර දුන්නා. ඊට අදාළ සැළැස්ම මේ මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරයා වෙත ලබා දෙනවා. එම සැලැස්ම වසර 03ක සැලැස්මක් වන අතර එම කාලය තුළ මෙම පිරිස සවිබල ගැන්වීම සිදු කෙරෙනවා. 
     
    මේ රටේ සමෘද්ධිලාභීන් ලක්ෂ 18න් සියයට 50කට වැඩි පිරිසක් වැඩිහිටියන්.  ඔවුන් තරුණ වියේදී විවිධ රැකියාවල නිරත වුවත්, වයස අවුරුදු  60න් පසු සමෘද්ධි ව්‍යාපාරයට ඇතුළත් වී තිබෙනවා. ඒ පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙන අතර සමාජ ආරක්ෂණ මණ්ඩලයේ දායකත්වයෙන් විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වා දීමට ඒ අනුව පියවර ගෙන තිබෙනවා. එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතයි. 
    ඒ අනුව වයස අවුරුදු 18 සිට වසර 05ක කාලයක් ඒ සඳහා දායකවූවෙකුට අවුරුදු 60න් පසු විශ්‍රාම වැටුපක් හිමි වෙනවා. එම දායකත්වය අඛණ්ඩව ලබා දීමටත් හැකියාව තිබෙනවා. දායකත්ව කාලය අනුව විශ්‍රාම වැටුප වැඩි කර ගත හැකියි. 
    ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් සමාජ සවිබල ගැන්වීමේ කාර්යයේදී ඉතා වැදගත් වෙනවා. එමඟින් පුහුණු වෘත්තිකයින් බිහි කිරීම ඉලක්කයයි. 
    මෙම සමස්ත වැඩසටහන සඳහා අපට චීනයෙන් , ආසියානු සංවර්ධන බැංකුවෙන්, ලෝක බැංකුවෙන් වගේම සමෘද්ධි බැංකු පද්ධතියෙන් සහය ලැබෙනවා. ඒ අනුව දිළිදුබව තුරන් කිරීමට නොව, පොහොසතුන් නිර්මාණය කිරීමට අප ඉදිරියේ දී මෙරට සමෘද්ධි බැංකු පද්ධතිය භාවිතා කිරීමට සැලසුම් කර තිබෙනවා. 
    අද සමෘද්ධි බැංකු පිළිබඳ වැරදි මතයක් ගොඩනැඟීමට ‍ඇතැම් දේශපාලනඥයන් දැඩි උත්සාහයක නිරත වෙනවා. නමුත් අස්වැසුම වැඩසටහන හරහා  සමෘද්ධි ව්‍යාපාරයත්, සමෘද්ධි බැංකු පද්ධතියත් වඩා ජව සම්පන්නව ඉදිරියට ගෙනයාම සිදු වෙනවා. 
    අස්වැසුම ක්‍රියාවලිය නිවැරදිව සිදු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව එහි අභියාචනා කාලය පසුගිය සඳුදා දිනයෙන් අවසන් වුණා. එය තව දුරටත් දිර්ඝ කිරීමෙන් සිදුවන්නේ සුදුසුකම් ලැබූවන්ට ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වීමයි. අභියාචනා සහ විරෝධතා ඉදිරිපත් කිරීමට ලබා දුන් කාලය හොඳටම ප්‍රමාණවත් කියා අප විශ්වාස කරනවා. 
    ඒ වගේම ලබන අගෝස්තු 01 වනදා සිට, මෙවර අයදුම් කිරීමට නොහැකි වූ හෝ අභියාචනා ඉදිරිපත් කිරීමට නොහැකි වූ අයට අලුතින් අයදුම් කිරීමට අවස්ථාව සැලසෙනවා. වාර්ෂිකව යම් කිසි ප්‍රමාණයක් මෙම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා සුදුසුකම් ලබනවා වගේම විවිධ හේතු මත යම් පිරිසක් ඉවත් වීම සිදු වෙනවා.  ඒ වගේම පාසල් වයසේ සිට වයස්ගත පුද්ගලයා දක්වාම ආරක්ෂා කර සවිබලගැන්වීම මෙම අස්වැසුම වැඩසටහන තුළින් සිදු කෙරෙනවා. 
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ 2048 වන විට ශ්‍රි ලංකාව දියුණු රටක් බවට පත් කිරීම මිස දිළිඳුකම පිටුදැකීම නොවෙයි. ඒ සඳහා අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කරමින් සිටිනවා. අපට අවශ්‍ය කරන්නේ සුබසාධන රාජ්‍යයක් නෙවෙයි. අප නිර්මාණය කළයුත්තේ ව්‍යවසායික රාජ්‍යයක්. සුබසාධන රාජ්‍යයක් තුළින් දියුණු රාජ්‍යයක් ගොඩනැඟීමේ ඉලක්ක සපුරාගත නොහැකියි. ඒ සඳහා වන වැඩසටහන අද ක්‍රමාණුකූලව ඉදිරියට ගෙන යන බව කිවයුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya