මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොල් වගාවට වැළදිය හැකි රෝග පාලනයට පොදුවැඩපිළිවෙලක් සකස් කරන ලෙස උපදෙස්

    ජූලි 11, 2023

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් 06 දින රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී මෙරට පොල් වගාව සහ කර්මාන්තය ආශ්‍රිත ප්‍රධාන ආයතන ත්‍රිත්වය වන පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් පර්යේෂණ මණ්ඩලය යන ආයතන කැඳවා තිබිණි.

    2021.01.21 දින පැවති කෝප් රැස්වීමේදී මෙම ආයතනවලට දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය විමර්ශනය කිරීම මෙහිදී සිදුවිය. මෙහිදී පහත සදහන් කරුණු කෙරෙහි අවධානය යොමු විය.

    පොල් වගාවට වැළදිය හැකි රෝග පාලනයට ආයතන ත්‍රිත්වය සමග සාකච්ඡා කර පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම


    හදිසි තත්ත්වයක් සේ සලකා විශේෂ කමිටුවක් පත් කර පොල් වගාවට වැළදී ඇති සුදු මැස්සා රෝගය පාලනය කිරීමට සහ පොල් පොල් වගාවට වැළදිය හැකි රෝග පාලනයට ආයතන ත්‍රිත්වය සමග සාකච්ඡා කර පොදු වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡා විය. මේ වන විට ස්ථාපිත කර ඇති ‘ජාතික ආපදා කළමනාකරණමෙහෙයුම් ඒකකය’ සදහා පොල් සංවර්ධන අධිකාරිය සම්බන්ධ වී නැති බැවින් මෙම මෙහෙයුම් කටයුතු සදහා එම ආයතනය ද සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

    එසේම පොල් වගාවට නිසි කලට පොහොර නොයෙදීම නිසා මෙවැනි රෝග ඇතිවීමේ අවදානමක් බවතින බවත් නිලධාරිහු පැවසූහ. පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් ඉඩම්වල වගාවන්ට අවසන් වරට පොහොර යෙදීම සිදුකර ඇත්තේ 2016 වසරේ බවත් මෙහිදී අනාවරණය විය. රජයට අයත් පොල්වගාවන්ට හෝ කලට වෙලාවට පොහොර නොයෙදීම පිළිබද කමිටුවේ අප්‍රසාදය පළවිය.

    ආයතන ත්‍රිත්වයම සම්බන්ධ කරගෙන සාකච්ඡා කොට ගනු ලබන ක්‍රියාමාර්ග සති දෙකක් තුළ දන්වන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය. ඒ අනුව මේ සම්බන්ධ අවශ්‍ය සම්පත් සැපයීම පිළිබදව පාර්ලිමේන්තුව, මහාභාණ්ඩාගාරය සහ ජනාධිපති ලේකම්වරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව කෝප් සභාපතිවරයා පැවසීය.

    පොල් වෙන්දේසියේ ඒකාධිකාරය නතර කොට විනිවිද බව ඇති කිරීමට ඔන්ලයින් ක්‍රමවේදය නැවත ක්‍රියාත්මක කිරීමට උපදෙස්

    පොල් වෙන්දේසිය සදහා අන්තර්ජාලයේ මාර්ගගත ක්‍රමය (ඔන්ලයින්) මගින් ලංසු තැබීමට පරිගණක මෘදුකාංගයක් සකස් කළද මේ වන විට එය අක්‍රීය තත්ත්වයේ පැවතීම පිළිබදව අවධානය යොමු විය. වඩාත් විනිවිදබවකින් යුතුවවෙන්දේසිය සිදු කිරීමේ හැකියාව මෙමගින් හැකියාව ලැබෙන බවත් පොල් වෙන්දේසියේ පවතින මෙරට පවතින කිහිපදෙනෙකුගේ ඒකාධිකාරිය වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රමය හදුන්වා දුන් බවද මෙහිදී හෙළි විය. තැරැව්කරුවන් කිහිපදෙනෙකුගේ අවශ්‍යතාව මත අධිකාරියේ ඇතැම් නිලධාරීන් හවුල්වීමෙන් මෙම ඔන්ලයින් ඩිජිටල් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අකමැත්ත පළ කරන බවද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව වඩාත් විනිවිද බවකින් යුතුව මෙම වෙන්දේසිය සිදු කිරීම සදහා මෙම ඔන්ලයින් ක්‍රමවේදය නැවත ඇති කිරීමට මාස තුනක් ඇතුළත කටයුතු කරන ලෙස නියෝග කරන ලදී.

    දේශීය පොල් තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ප්‍රමිතියෙන් තොර ආනයනික පොල්තෙල් සීමා කිරීමේ අවශ්‍යතාව

    මෙරට පරිභෝජනය සදහා 2020-2022 කාලය තුළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 187,623ක් ආනයනය කර ඇති බවත් ෆාම් ඔයිල් මෙ.ටොන් 225,510 ක් ආනයනය කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ අනුව මෙරට පොල්තෙල් පරිභෝජනයෙන් 22%ක් දේශීය නිෂ්පාදනයෙන්ද 78%ක් ආනයනික තෙල් මත සපුරා ගෙන තිබීම විශාල ගැටලුවක් බවත් සාකච්ඡා විය. එසේම එම ආනයනික පොල්තෙල්වල ප්‍රමිතියේ පවතින ගැටලු පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. ඒ අනුව පොල් සංවර්ධන අධිකාරිය, පාරිභෝගික අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතන කැඳවා මේ පිළිබදව පුළුල් විමර්ශනයක් සිදු කිරීමට මෙහිදී තීරණය විය.


    ඩිජිටල් දැන්වීම් පුවරුවක් ඉදිකිරීමට පෞද්ගලික ආයතනයකට ගිවිසුමක් තොරව රු. මිලියනක අන්තිකාරම් මුදලක් ගෙවීම

    පොල් සංවර්ධන අධිකාරියේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඩිජිටල් එළිමහන් වෙළද දැන්වීම් පුවරුවක් ඉදිකිරීමට රු. මිලියන 5කට ආසන්න කොන්ත්‍රාත්වකු යටතේ පෞද්ගලික ආයතනයකට 2021 වසරේ ගිවිසුමක් තොරව පැවරීම සිදුකර තිබිණි. මින් අන්තිකාරම් මුදලක් ලෙස රු. මිලියනකට ආසන්න මුදලක් ලබා දී ඇති බවත් යම් බලපෑමක් මත ගෙවීම සිදුකළ බවත් මෙහිදී මූල්‍ය අධ්‍යක්ෂවරිය පැවසුවාය. මේ අනුව සති දෙකක් තුළ මේ පිළිබද පුළුල් විමර්ශනයක් සිදු කර වගකියවයුත්තන් හෙළි කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි. මීට අමතරව විගණකාධිපතිවරයා විසින් වෙනම විමර්ශනයක් සිදුකිරීමට ද මෙහිදී තීරණය විය.


    පොල් වගාකිරීමේ මණ්ඩලයේ සම්මුඛ පරීක්ෂණ සදහා ක්‍රමවත් පරිදි පෙනී නොසිටි පුද්ගලයන් 6 දෙනෙකු හිටපු සභාපතිවරයා විසින් හිතුමතේ සේවයට බදවා ගෙන ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ පිළිබදව දැඩි අප්‍රසාදය පළ කළ කමිටුව සති දෙකක් තුළ විධිමත් වාර්තාවක් ලබා දෙන ලෙස දැනුම් දෙන ලදී. එසේම මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ජනාධිපති ලේකම්වරයාට ද දන්වා සිටීමට ද තීරණය විය.

    සෞදි අරාබියේ ගස් මිලියන 50ක් සිටුවීමේ ව්‍යාපෘතියට කොහුබත් සැපයීම සදහා වහාම ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව

    සෞදි අරාබියේ ගස් මිලියන 50ක් සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බැවින් මේ සදහා අවශ්‍ය කොහුබත් ලබා ගැනීමේ ක්‍රියාවලියක් සදහා සාකච්ඡා පවතින බැවින් එය මෙරටට ලබා ගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය. මෙරටට ඩොලර් මිලියන ගණනක්ආදායමක් මෙරටට ලබා ගත හැකි ව්‍යාපෘතියක් බැවින් මේ සම්බන්ධව වඩාත් සක්‍රීය ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුවේදී අවධාරණය කෙරිණි.


    පොල් සංවර්ධන අධිකාරිය විසින් 2006 වසරේ ආරම්භ කළ දුන්කන්නාව කොහු සංවර්ධන හා පුහුණු මධ්‍යස්ථානයේ කටයුතු 2020 වසරේ සිට නතර කර තිබීම පිළිබද කමිටුව විසින් ප්‍රශ්න කරන ලදී. රු මිලියන
    ගණනක යන්ත්‍ර සූත්‍ර විනාශ වීමේ අවධානමක් පවතින බැවින් මේ පිළිබදව වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස අධිකාරියේ සභාපතිවරයාට නියෝග කෙරිණි.

    මීට අමතරව පූර්ව අනුමතියකින් තොරව පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන ගොඩනැගිල්ලට කොටසක් එක් කිරීමේදී රු. මිලියන 21 ක අලාභයක් සිදුවීම, මීගමුව බීජ පොල් එ්කකය වෙනුවෙන් ගොඩනැගිල්ලක්
    ඉදිකිරීම සදහා උපදේශක සමාගමක් වෙත රු. මිලියන 2 කට ආසන්න මුදලක් ගෙවී‍ම ඇතුළු ගැටලු පිළිබදව ද විධිමත් වාර්තාවක් ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය. එසේම පොල් පර්යේෂණ මණ්ඩලයේ පර්යේෂණ නිලධාරින් රු. මිලියන ගණනක් වියදම් කර පර්යේෂණ ආරම්භ කළ පසු ඉවත්වීම මගින් ආයතනයට විශාල අලාභයක් සිදුවීම නිසා පර්යේෂණ ආරම්භයට පෙර


    ආයතනයත් සමගම පවතින නෛතික බැදීම වැඩි කොට එම අලාභය අයකර ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.

    රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්දානන්ද අළුත්ගමගේ, දයාසිරි ජයසේකර, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, එස්.එම්.එම් මුෂාරෆ්, සංජීව එදිරිමාන්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ සහ (මහාචාර්ය) චරිත හේරත් යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya