ඒ අනුව වාඩිගල ගම්මානය අවට පවතින වළව්වේ මහත්තයාගේ ආර වැව, නෝනාගේ ආර වැව, පන්විල වැව හා විචකුලආරවැව යන කුඩා වැව් හතරක ප්‍රතිසංස්කරණ කටයුතු පළමුව ආරම්භ කර ඇති අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 15කි.
මෙම වැඩසටහනට සමගාමීව අමාත්‍යවරයා ගොවීන්ට අවශ්‍ය කෘෂි උපකරණ ලබා දුන් අතර සමාජ සත්කාරක වැඩසටහන් රැසක් ද ක්‍රියාත්මක කර තිබේ.
මෙම ගම්මානය සම්පූර්ණයෙන්ම කෘෂිකාර්මික ගමක් වන නමුත් ගොවීන්ට අවශ්‍ය ජලය ඇතුලු යටිතල පහසුකම් මෙතෙක් සංවර්ධනය වී නොමැත. නමුත් එළවළු හා පලතුරු ගොවිතැන ඉතාමත් සාර්ථකව සිදු කෙරෙන අතර වාඩිගල ආර්ථික මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර තිබේ.
දිනපතා අලුත් එළවළු හා පලතුරු විශාල ප්‍රමාණයක් වාඩිගල සිට කොළඹට ප්‍රවාහනය කෙරෙන අතර අධිවේගී මාර්ගය සමීපයෙහි පිහිටි ගම්මානයක් වන නිසා නැවුම් එළවළු හා පලතුරු කඩිනමින් ප්‍රවාහණය කිරීමේ පහසුකම් ද පවතී.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා;
" කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් නව සංකල්පයක් ලෙස තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩ සටහන මෙම වසරේ දී ආරම්භ කළා. 2018 මම කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටිය දී පළමු කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය බණ්ඩාරවෙළ කහත්තේවෙල දී ආරම්භ කළා. අද එම ගම්මානයේ ගොවි ජනතාව ඉතාමත් හොඳින් හා සාර්ථකව තම වගා කටයුතු කර ගෙන යනවා. එපමණක් නොව ජාත්‍යන්තරය තුළට පවා යාමට හැකි වූ තරුණ ව්‍යවසායකයින් කහත්තේවෙලින් බිහිවී තිබෙනවා.
මෙම කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ආරම්භ කිරීමේ අරමුණ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ආකර්ශණය කර ගැනීමයි. අද අපේ රටේ කෘෂිකර්මාන්තය තුළ සිටින ගොවින්ගෙන් සියයට 80ක් වයස අවුරුදු 55ට වැඩි වයෝවෘද්ධ ගොවි ජනතාවයි. තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තයට ඇතුළත් නොවන්නේ ඔවුන්ට මෙයින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවේය යන සැකය නිසායි.
නමුත් ඉහළ ආදායමක් ඉපයිය හැකි කෘෂිකාර්මික නිෂ්පාදන මෙම තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මානවලට හඳුන්වා දීම අපේ ඉළක්කයයි. එහි දී නව කෘෂි තාක්ෂණය, උපකරණ, ඉහළ අස්වැන්නක් ලැබිය හැකි බීජ වර්ග මෙන්ම ඊට අවශ්‍ය සියලු පහසුකම් අපි ලබා දෙනවා.
කෘෂි ව්‍යවසායකත්ව ගම්මානය සාර්ථක වීමේ වගකීම තිබෙන්නේ මේ ගමේ ජනතාව මතයි. නිසි පරිදි කැපවීමෙන් කටයුතු කළහොත් මෙම ගම්මානය කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක් ලෙස සංවර්ධනය කළ හැකියි. රජය වශයෙන් අවශ්‍ය සම්පත් හා පහසුකම් අපි ලබා දෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම්මාන හතක් අපි මෙම වසරේ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කරනවා. ඒ යටතේ වැව් 36ක් සංවර්ධනය වෙනවා. දැන් එම කටයුතු පටන් ගත්තා. තම ගමේ වැව නිසි පරිදි සකස් වෙනවාද යන්න ගොවි සංවිධානවල පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වීය යුතුයි.
මෙම ගම්මාන හත තුළ සිටින තරුණ ප්‍රජාවට අපි ප්‍රමුඛත්වය ලබා දෙනවා. එම තරුණ ප්‍රජාව කෘෂි කර්මාන්තයට ආකර්ශණය කර නොගත්තොත් ඉදිරියට මෙරට කෘෂිකාර්මික අංශයට විශාල බලපෑමක් එල්ල වෙනවා. අපි මෙම වැඩ පිළිවෙළ ආරම්භ කළේ ඒ නිසා " යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.