මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද සිසු සිසුවියන් 3315ක් පුහුණුවට බඳවා ගැනේ

    ජූලි 11, 2023

    හෙද සිසු සිසුවියන් 3315 කට පුහුණුව සදහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

    මෙරට හෙද විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට එකඟතාවයකට පැමිණ ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    ඒ අනුව හෙද විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්බන්ධව එකඟතාවයකට පැමිණ ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    එමෙන්ම මේ වන විට වසර 03 ක හෙද පුහුණුව අවසන් කර ඇති සිසුන් 2497 ක් හෙද නිලධාරීන් වශයෙන් බඳවා ගැනීමේ කටයුතු සැලැසුම් කෙරෙමින් පවතින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේ මෙරට සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීම අරුමුණු කර ගනිමින් 2020 සිසු හෙද කණ්ඩායම යටතේ හෙද සිසු සිසුවියන් 3315 කට පුහුණුව සදහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම උත්සව අවස්ථාවට එක්වෙමිනි. එම උත්සවය අද (10) සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    2018/2019 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර සිසුන් 3315 දෙනෙකු හෙද පුහුණුව සඳහා සුදුසුකම් ලබා ගත් අතර, ඉන් කොළඹ දිස්ත්‍රික්කයේ සිසු හෙද සිසු සිසුවියන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී මෙලෙස නිල වශයෙන් පුහුණුවට බඳවා ගැනීමේ පත්වීම් ලබාදිම සිදුකෙරිණි. මෙම පත්වීම් ලබාදීමට සමගාමීව දිවයින පුරා හෙද විදුහල් 15 කදීද හෙද සිසු සිසුවියන් සදහා පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබිණි.

    මේ අනුව අම්පාර 200 ක්, අනුරාධපුර 162 ක්, බදුල්ල 227 ක්, මඩකළපුව 165 ක්, කොළඹ 225 ක්, ගාල්ල 321 ක්, හම්බන්තොට 200 ක්, යාපනය 96 ක්, කළුතර 219 ක්, කඳාන 299 ක්, මහනුවර 350 ක්, කුරුණෑගල 395 ක්, මාතර 175 ක්, රත්නපුර 175 ක්, වව්නියාව 106 ක් වශයෙන් හෙද විදුහල් වලට සිසු හෙද සිසුන් අනුයුක්ත කර ඇත.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා -

    “2018/2019 උසස් පෙළ ප්‍රතිඵල අනුව 5657 කින් 3315 ක් මෙලෙස හෙද පුහුණුවට තෝරා ගෙන තිබෙනවා. 2018/2019 කාල පරිච්ඡේදය පළමුව කොවිඩ් වසංගතයත් සමග මේ රටේ දේශපාලන හා ආර්ථික වශයෙන් ඉතාමත්ම පීඩනකාරි සහ රටේ යම් යම් තීන්දු තීරණ ගත නොහැකි සංකීර්ණමය තත්ත්වයක් පැවැති කාල පරිච්ඡේදයකි. එම පසුබිමේ සිටය 2018/2019 හෙද සිසු සිසුවියන් පුහුණුව සදහා බඳවා ගැනීමේ වැඩපිළීවෙල ආරම්භ වුයේ. මේ දරුවන්ගේ ගැටළුව ගැන මට ඔවුන්ගේ දෙමාපියන් දුරකථනයෙන් කතා කළා. එම දරුවනුත් සංවිධානාත්මකව අපව දැනුවත් කළා. මේ දරුවන් විශාල පීඩනයකට ලක්වෙලා හිටියේ. ඒ අනුව අප ගැඹුරින් සොයා බලා ඇති වී තිබෙන ප්‍රශ්ණය අවබෝධ කර ගත්තා. පළමුව ඉසඩ් අගය සම්බන්ධව තිබුණ ගැටළුව විභාග දෙපාර්තමේන්තුවට ලබාදීම මගින් සති දෙකක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එය විසදා ගැනීමට කටයුතු කළා. මෙම දරුවන් ඉතා නිහඩව විප්ලව නොකර, පාරට බැහැලා කෑ ගහන්නේ නැතිව හිතට දැනෙන්න තමන්ගේ, බුද්ධිමය වශයෙන් අපට පීඩනය එල්ල කළා. එය ඉතා හොද දෙයක්. එම පීඩනය අපිට හොදට දැනුනා. ඒ අනුව නිලධාරීන් සමග සාකච්ඡා කර මෙය කඩිනමින් විසදීම සදහා කටයුතු කළා. පාරට බැහැලා විප්ලව කළා නම් අපට එහෙම හිතෙන්නේ නැහැ. ඒ අනුව අද මේ දරුවන්ට අනාගතය බලන්න පුළුවන් තැනකට පත්වෙලා තිබෙනවා.”

    “දැනට මාසයකට පමණ පෙර කැබිනම් මණ්ඩලයට පත්‍රිකාවක් දමා හෙද විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට මේ වනවිට එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඩිප්ලෝමා එක කරලා උපාධියක් ලබාගැනීමට එය ඉතා වැදගත් වෙනවා. මම එදා විදේශ රැකියා අමාත්‍යවරයා හැටියට කැනඩාව, ඇමරිකාව වැනි රටවලට හෙදියන් යවන්න හැකි වැඩපිළිවෙළක් තිබෙනවාද කියලා හොයලා බැලුවා. එවිට ඒ අයගේ මූලික ඉල්ලීම උපාධිය. ඉන්දියාවේ මෙය කළත් උපාධියේ විටිනකාම ගැන ප්‍රශ්ණයක් තිබෙනවා. අපි අධ්‍යාපන මට්ටම බාල කරන්නේ නැහැ. අපේ අධ්‍යාපන මට්ටමට විශේෂ පිළිගැනිමක් තිබෙනවා. හෙද සේවාට සහ සෞඛ්‍ය සේවාවටත් ඒ පිළිගැනීම ඒ අයුරින්ම තිබෙන නිසා තමයි අද අපිට දරන්න බැරි ප්‍රශ්නයක් මතුවෙලා තිබෙන්නේ අපේ වෛද්‍යවරු ටික පිටරට යනවා. ඒ පිළිගැනීම නිසා. මේ හෙදියනුත් ඩිප්ලෝමාව කරලා උපාධියත් කළොත් ලෝකයේ දොරවල් විවෘත වෙනවා. විදේශ රැකියා සම්බන්ධව ලෝකයේ පළමු තැන රටවල් ගණනාවක් තිබුණත් වැඩිහිටියන්ට සැළකීම වැනි, හැදියාව, සංහිදියාව වැනි අපේ රටේ සංස්කෘතික බැදීම් වලට විදෙස් රට වල විශාල පිළිගැනීමක් තිබෙනවා. ඒ සංස්කෘතිය ගැටගැහෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයට. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි ඉතාමත්ම ඉහළ මට්ටමක ඉන්න ප්‍රධානතම හේතුවක් තමයි මානව සම්පතෙන් ලබාදෙන දායාද. මේ ක්ෂේත්‍රය සුවිශේෂීයි, සංවේදියි. රෝගීන්ට දයාව, කරුණාව දැක්වීම සුහදව කථා කිරීම වැනි පුරුදු තමයි මේ සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ වැදගත් වන්නේ. අපේ රට ආසියාවේ ඉහළ මට්ටමේ දර්ශක තිබෙන රටක්.”

    “අපි බොහොම අමාරුවෙන් මෙම වැඩපිළිවෙල සිදු කරන්නේ. රෝස මල් යහනාවක යන ගමනක් නොවෙයි. මේ කාලයේ අපි දරන්න බැරි වියදමක් මේ දරන්නේ. මම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගේම මුදල් අමාත්‍යාංශයේ වැඩි කාලයක් ගත කරනවා. මොකද වැඩපිළිවෙල් සදහා මුදල් හොයා ගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයට වෙනත් විකල්ප නැහැ. හෙද විදුහල් 15 තුලම අපි බලාපොරොත්තු වන අංග සම්පූර්ණ තත්ත්වයන් නැහැ. අඩුපාඩුකම් ගණනාවක් තිබෙනවා. අපි පසුගිය කාලයේ හැම පාසලෙන් පාසලටම කථා කරලා ගැටළු සොයා බලලා අපිට පුළුවන් තරම් මුදල් ලබාදීමට කටයුතු කළා. ඒ බොහොම අමාරුවෙන් භාණ්ඩාරයෙන් අරගෙන අවම පහසුකම් ලබාදීම සදහා. තිබෙන අඩුපාඩුකම් ඉවසා දරාගෙන වැඩකටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. අධ්‍යාපනය තමයි ලෝකයේ තිබෙන ලොකුම දායාදය. දෙමාපියන්ට දරුවන්ට ලබාදිය හැකි උපරිම දායාදය එයයි. තව වසර 03 කට පසු මේ දරුවන්ට කෙළින් සිට ගන්නට පුළුවන්. වෘත්තීමය ශක්තියක් ඔබලාට ලැබෙනවා. එතනින් එහාට උපාධියකට යාහැකි මඟ විවර වෙලා තිබෙනවා. එවිට ඔබට යුරෝපීය රටවල විශාල ඉල්ලුමක් තිබෙනවා. වෙනත් ක්ෂේත්‍රවල ‌එම වගකීම, ස්ථාවරත්වය නැහැ.”

    මේ වන විටත් හෙද විදුහල්වල 3700 ක පමණ ප්‍රමාණයක් සිසු හෙද පුහුණුව ලබමින් සිටින අතර, 2019/2020 උසස් පෙළ ප්‍රතිඵල අනුව සිසු හෙද හෙදියන් තෝරා ගැනීම සදහා වන ගැසට් නිවේදනයද කඩිනමින් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබේ.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම්වරුන් වන (පාලන 01) ගිතාමනී කරුණාරත්න, පාලන (02) කේ.එම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චාමික ගමගේ යන මහත්ම මහත්මීන් හා හෙද විදුහල්වල විදුහල්පතිවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya