නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොවීන්ට ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි නව බීජ වර්ග හඳුන්වා දීමේ වැඩපිළිවෙලක්

    මැයි 08, 2023

    ඉහළම  අස්වැන්නක් ලබා ගත හැකි වී ප්‍රභේද ගණනාවක් මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වී පර්යේෂණ ආයතන විසින් නිදපවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෙරට නියෝජිතවරිය හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩ සටහනේ මෙරට නව නියෝජිතවරිය ලෙස පත්වූ Azusa Kubota මෙනවිය පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී මෙරට කෘෂිකර්මාන්තයේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළාය. විශේෂයෙන් පසුගිය කාලය තුළ පැවැති ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සඳහා රජය විසින් ගනු ලැබු පියවර ඇය විසින් අගය කළාය.

    2022 වසර තුළ  ශ්‍රී ලංකාවේ ආහාර අර්බුදයක් ඇතිවෙතැයි බොහෝ දෙනෙක් උපකල්පනය කළත් රජය විසින් පසුගිය යල කන්නයේ සිට කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට ගත් පියවර නිසා අවශ්‍ය තරම් සහල් රට තුළ නිපදවා ගැනීමට හැකි වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    විශේෂයෙන් වසර 10කට පසුව මෙරට යල කන්නයක දී වගා කළ කුඹුරු ප්‍රමාණය ගොවීන් විසින් පසුගිය යල කන්නයේ දී වගා කළ බවත්, එමෙන්ම පසුගිය මහ කන්නයේ දී ද වාර්තාගත අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බවත් අමාත්‍යවරයා පැවසීය.

    ශ්‍රී ලංකාවේ වී වගාව ආදායම් උපයන වගාවක් බවට පත් කිරීමටත්, රටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය රට තුළ ම නිපදවා ගැනීමට නම් ඉහළ අස්වැන්නක් ලැබිය හැකි උසස් වී ප්‍රභේද හදුන්වා දිය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් බතලගොඩ හා අම්බලන්තොට වී පර්යේෂණායතන විසින් මේ වනවිට ඉහළම වී අස්වැන්නක් ලැබිය හැකි වී ප්‍රභේද රැසක් හඳුන්වා දී තිබේ.

    “අපේ රටේ පළමුවරට හෙක්ටයාර් එකකින් ලද ඉහළම වී අස්වැන්න පසුගිය මහ කන්නයේ දී අම්බලන්තොට ගොවීන් සිව්දෙනෙක් විසින් වාර්තා කළා. ඉන් තිදෙනෙක් හෙක්ටයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 11ක් වශයෙන් හා එක් ගොවියෙක් හෙක්ටයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 09ක් වශයෙන් වාර්තා කර තිබෙනවා. තවත් විශාල පිරිසක් මෙට්‍රික් ටොන් 08 සිට 09 දක්වා ප්‍රමාණයක් වාර්තා කර තිබෙනවා.

    අම්බලන්තොට වී පර්යේෂණාතයතනය වී හඳුන්වා දුන් At 362 වී ප්‍රභේදය අද රටේ ඉහළම වී අස්වැන්න ලැබිය හැකි වී වර්ගයක් ලෙස ගොවීන් හඳුනාගෙන තිබෙනවා. මීට අමතරව බතලගොඩ වී පර්යේෂණායතනය විසින් ද නව වී ප්‍රභේද කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

    ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමට නම් ඔවුන්ට වගාව සඳහා උසස් බීජ විශේෂ ලබා දිය යුතුයි. සෑම වගාවකින්ම ඉහළ අස්වැන්නක් ලැබිය හැකි  බීජ වර්ග හදුන්වා දීම සදහා සිදු කරන පර්යේෂණ පුළුල් කිරීමට පියවර ගන්නා ලෙස මම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නා. ඒ වගේම ඒ සදහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රජය වශයෙන් ලබා දෙනවා “යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    ජපාන රජයේ  අරමුදල් යටතේ ක්‍රියාත්මක වන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් අප රටේ රැකියා විරහිත තරුණ කොටස් කෘෂිකර්මාන්තයට ආකර්ශණය කළ හැකි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමය සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා නියෝජිතවරියට යෝජනා කළේය.

    මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් ගුනදාස සමරසිංහ මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya