නොවැම්බර් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උසස් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ රැසක් පිළිබඳව කෝප් කමිටුවෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ

    මැයි 04, 2023

    • අවිචාරවත් ලෙස ආචාර්ය සහ මහාචාර්ය තනතුරු නාමයන් භාවිතා කිරීම වැලැක්වීම සදහා වන නෛතික ප්‍රතිපාදන මසක් ඇතුළත සකසා ප්‍රසිද්ධ කරන ලෙස උපදෙස්
    • z ලකුණු ක්‍රමවේදයට අමතරව ප්‍රායෝගික පරීක්ෂණ පවත්වමින් විශ්ව විද්‍යාල වලට කරන බඳවා ගැනීම් අත්හිටුවීමටත් නිර්දේශයක්

    • රැකියා වෙළදපොළට උචිත පරිදි විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ ගුණාත්මක බව වැඩි කිරීමටත් නිර්දේශ
    • උසස් අධ්‍යාපනය සහ සප්ත වාර්ෂික නිවාඩු මත වි‍දේශගතව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් අයවිය යුතු රු. බිලියන 2 ක හිග මුදල් ලබා ගැනීමට කඩිනම් වැඩපිළිවෙලක්
    • වි. වි ප්‍රතිපාදන කොමිෂමේ බලතල ඉවත්කිරීම කිරීම වෙනුවට වත්මන් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කිරීමට කමිටුව අවධාරණය කරයි

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කොප් කමිටුව), මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය සහ උසස් අධ්‍යාපනයට අදාළ ගැටලු රැසක් පිළිබඳව සාකච්ඡා කිරීම සදහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කැඳවා තිබිණි.

    මෙහිදී කෝප් කමිටුව විසින් අවධානයට යොමු කළ මූලික කරුණු 10 ක් ඔස්සේ සාකච්චාව සිදුවිය.

    1.මුදල් අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේක පිළිපැදීම සම්බන්ධ ගැටලු
    2. Z ලකුණු ක්‍රමවේදයට පරිභාහිරව ඇතැම් විෂයන් සදහා යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම හරහා ඉහළ z අගයක් සහිත ඇතැම් සිසුන්ට අසාධාරණයක් සිදුවීම
    3. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට ගෙවීම් සදහා පැමිණීම තහවුරු කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීම
    4. නිසි නියාමනයක් නොමැතිවීම හේතුවෙන් අනීතිකව ආචාර්ය, මහාචාර්ය තනතුරු භාවිතා කිරීම
    5. පෞද්ගලික විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන මගින් ප්‍රදානය කරනු ලබන උපාධි සම්බන්ධව නියාමනය
    6. ජාතික විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නැංවීම සහ රැකියා වෙළදපොලට ගැළපෙන පරිදි පාඨමාලා සැකසීමේ අවශ්‍යතාව
    7. විශ්ව විද්‍යාල අර්ථසාධක අරමුදල (UPF) අවභාවිතාවට ලක්වන බැවින් එය පාලනයකට නතුකිරීමේ අවශ්‍යතාව
    8. විශ්ව විද්‍යාල පද්ධතියේ මානව සම්පත් කළමනාකරණය සදහා පූර්ව අවබෝධයකින් යුතුව කටයුතු කිරීම
    9. විදේශීය ශිෂ්‍යයන් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව
    10. විශ්ව විද්‍යාල ආචාර්යවරුන් උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීමෙන් බැහැරව ඇති අවස්ථාවක එම කාර්ය නැවත ආරම්භ කිරීමට සාධනීය මැදිහත්වීමක් සිදු කිරීම

    මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ ගුණාත්මක බව වැඩිකිරීම සහ රැකියා වෙළදපොළට ගැළපෙන උපාධිධාරීන් බිහිකිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානය යොමුවිය. 2021 වසරේ විශ්ව විද්‍යාල ප්‍රවේශය හිමිවන පිරිසෙන් 26%ක් කලා මාධ්‍යයෙන් උසස් පෙළ හැදෑරු පිරිසක් බවත් විද්‍යා විෂයයන් සදහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන පිරිස සාපේක්ෂව අඩු අගයක් බවත් මෙහිදී හෙළිවිය. නමුත් ලොව දියුණු රටවල විද්‍යා හා තාක්ෂණික විෂයයන්ගෙන් සරසවි වරම් ලබන පිරිස වැඩි බව පෙන්වා දුන් කාරක සභාව අවධාරණය කළේ මෙම තත්ත්වය වෙනස් කිරීම සදහා පියවර ගතයුතු බවයි.

    මෙරට උසස්පෙළ සහිත පාසැල් සංඛ්‍යාව 2952 ක් බවත් ඉන් විද්‍යා විෂයයන් හැදෑරීමට අවස්ථාව ඇත්තේ පාසැල් 1011 ක පමණක් බවත් ඒ අනුව පාසැල් 1941 ක විද්‍යා විෂයන් ඉගැන්වීම සිදු නොවන බවත් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. එනම් උසස්පෙළ සහිත පාසැල්වලින් 65.75% ප්‍රමාණයක විද්‍යා විෂයන් නොමැතිවීම ගැටලුවක් බවත් මෙහිදී සාකච්ඡා විය. STEM අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මේ සදහා විසදුම් සෙවීම ආරම්භ කොට ඇති බවත් මෙම ගැටලුව විසදීමට පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙහිදී පැවසීය.

    මේ සදහා කඩිනමින් මැදිහත්වී උසස් අධ්‍යාපනයේදී විද්‍යා හා තාක්ෂණික අංශ‍ය සදහා වැඩි සිසුන් ප්‍රමාණයක් යැවිමට අවශ්‍ය වැඩ පිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

    නවීණ තොරතුරු තාක්ෂණික ක්‍රමවේද හදුන්වා දීම නිසා ප්‍රමාදයකින් තොරව විශ්ව විද්‍යාල සදහා සිසුන් බදවා ගැනීම ඇතුළු කොමිෂන් සභාවේ වැඩපිළිවෙල අගය කෝප් කමිටුව පවසා සිටියේ තවදුරටත් මෙරට විශ්ව විද්‍යාල ජාත්‍යන්තර මට්ටමට වැඩිදියුණු කළ යුතු බවයි. විශේෂයෙන් ජාත්‍යන්තර සිසුන් මෙරට විශ්ව විද්‍යාලවලට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් සකස් කර ලෙස ද උපදෙස් ලබා දෙන ලදී.

    වසරකට රු 90,000ක මුදලට විවෘත විශ්ව විද්‍යාලය මගින් මෘදුකාංග ඉංජිනේරු උපාධි පාඨමාලාවක් ආරම්භකොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. සාමාන්‍යයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක රු. මිලියන 2-3ක් පමණ වටිනාකමක් සහිත මෙම උපාධිය රු ලක්ෂ 3කට වඩා අඩු මුදලකට හැදෑරිය හැකි බවත්කොමිෂන් සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා මේ පිළිබදව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස කමිටු සාමාජිකයෝ කොමිෂන් සභාවට මෙහිදී උපදෙස් දුන්හ. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ බලතල ඉවත්කිරීම කිරීම වෙනුවට වත්මන් අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි කොමිෂන් සභාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් පෙන්වා දෙන ලදී. උසස් අධ්‍යාපන ආයතනවල තත්ත්ව නිශ්චය (Quality Assurance) සදහා නව පනතක් මඟින් වෙනම ආයතනයක් පිහිටුවීම සම්බන්ධ යෝජනාව පිළිබවද අවධානය යොමුවිය. කමිටුව පෙන්වා දුන්නේ ඒ සදහා බලය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටම හිමිවීම වඩා යෝග්‍ය බවයි.කොමිෂන් සභාවට මේ සදහා බලතල හිමියුත්තේ ඇයිද යන්න සවිස්තරාත්මකව කමිටුවට මාසයක් ඇතුළත දැනුම් දෙන ලෙස කමිටුව විසින් නිර්දේශ කරන ලදී. එසේම ඒ පිළිබදව මැදිහත්වීමට කෝප් කමිටුව සූදානම් බවද කෝප් සභාපතිවරයා පැවසීය.

    උසස් අධ්‍යාපනය සදහා වි‍දේශගව යළි නොපැමිණි ආචාර්යවරුන්ගෙන් රු. බිලියන 2කට ආසන්න මුදලක් අයවිය යුතු බවත් මෙහිදී අනාවරණය විය. අදාළ ඇපකරුවන්ගෙන් හෝ මෙම මුදල අයකර ගැනීමට කටයුතු කළයුතු බව කමිටු සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. මෙසේ විදෙස්ගතවූ ආචාර්යවරු 617 ක පිරිසකගෙන් 84 ක් පමණක් මේවන විට අදාල ගෙවීම් සිදුකළ බව මෙහිදී හෙළිවිය. ඒ අනුව මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග පිළිබදව මසක් තුළ කොප් කමිටුව දැනුවත් කරන ලෙස කමිටුව විසින් නිර්දේශ කරන ලදී.

    විශ්ව විද්‍යාල ප්‍රවේශයේදී ඇතැම් විෂයන්ට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම පිළිබදව අවධානය යොමු කළ කමිටුව පෙන්වා දුන්නේ මේ හරහා ඉහළ Z අගයක් ලබා ගත් සිසුන්ට අසාධාරණයක් සිදුවීමේ හැකියාවක් පවතින බවයි. එම විෂයයන් සදහා උසස්පෙළ විභාගයේදීද ප්‍රායෝගික පරීක්ෂණයක් පවත්වා Z අගය ලබා දෙන බැවින් තවදුරටත් ප්‍රායෝගික පරීක්ෂණයක් අනවශ්‍ය බව අවධාරණය කෙරිණි. ඒ අනුව කෝප් කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේ මේ සම්බන්ධයෙන් තීරණයක් වහාම ගන්නා ලෙසයි.

    විගණකාධිපතිවරයා විසින් දිගින් දිගටම පෙන්වා දී තිබූ පරිදි, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගෙවීම් සහතික කිරීම සදහා පැමිණීම තහවුරු කර ගැනීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ද කාරක සභාව විසින් කොමිෂන් සභාවට නිර්දේශ කරන ලදී.

    ඇතැම් පුද්ගලයන් විසින් විවිධ ආයතනවලින් අනීතික ලෙස ලබා දෙන ආචාර්ය, මහාචාර්ය තනතුරු භාවිතා කිරීම සම්බන්ධයෙන් කමිටුවේ විශේෂ අවධානය යොමුවිය. කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ මේ සදහා ක්‍රියාමාර්ග ගැනීමට කොමිෂන් සභාවට නෛතික ප්‍රතිපාදන නොමැති බවයි. මේ හරහා ආචාර්ය මහාචාර්ය තනතුරු පවා තනතුරු පවා හෑල්ලුවට ලක්වන බැවින් කොමිෂන් සභාව මේ සදහා මැදිහත් විය යුතු බව කමිටුව විසින් අවධාරණය කරන ලදී. මේ අනුව මාසයක් තුළ මේ සදහා සිදුකළ යුතු නෛතික වෙනස්කම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දීම සිදුවිය.

    මෙකී සියලු නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය සදහා නැවත මාස දෙකකින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවකැඳවීමට ද මෙහිදී තීරණය විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya