මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2048 ශ්‍රී ලංකාවේ දියුණුවේ වසර බවට පත් කර ගැනීමට සාමුහිකව අත්වැල් බැඳ ගනිමු

    මැයි 01, 2023

    සාම්ප්‍රදායික දේශපාලනයෙන් මිදී රට පිළිබඳ අලුතින් සිතා අලුත් මාවතක යන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පරිවර්තනය කර ගනිමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

    2048 ශ්‍රී ලංකාවේ දියුණුවේ වසර බව අවධාරණය කළ ජනාධිපතිවරයා එම ගමනේදී සියලු දේශපාලන පක්ෂ මෙන්ම ජනතාව ද එකමුතුව අත්වැල් බැඳගනු ඇතැයි තමන් විශ්වාස කරන බව කියා සිටියේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුම් උළෙල විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අමතමිනි.

    “2048 ජයගමු” තේමාව යටතේ සංවිධානය කර තිබූ මෙම සැමරුම් උළෙල සඳහා විවිධ වෘත්තීය සංගම් සහ සංවිධානය 68ක නියෝජිතයෝ මෙන්ම උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත පිරිසක් එක්ව සිටියහ.

    ආසියාවේ දෙවැනි තැනට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගු ඩී.එස්. සේනානායක මැතිතුමාගේ සහ විවෘත ආර්ථිකය සමඟ රට ඉදිරියට ගෙන ගිය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ අනුව යමින් ශ්‍රී ලංකාව යළි ගොඩනඟන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    එක්සත් ජාතික පක්ෂය සැමදා රට ගැන සිතන මෙන්ම ප්‍රතිපත්ති දේශපාලනයේ නිරත වන පක්ෂයක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා කිසිවිටෙක එම ප්‍රතිපත්තියෙන් ඈත් වී නොමැති බව ද කියා සිටියේය.

    මේ රටේ දේශපාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බවට තරුණ තරුණයින් කළ ඉල්ලීම කිසිසේත් අමතක කර නොමැති අතර පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවලට සහ අධීක්ෂණ කාරක සභාවලට තරුණ නියෝජිතයන් පස් දෙනා බැගින් පත් කිරීමේ කටයුතු මෙම මැයි මාසයේ දී අවසන් කිරීමටත්, කරූ ජයසුරිය මැතිතුමාගේ යෝජනාව අනුව ජන සභා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසිය.

    ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට ප්‍රතිලාභ සැලසෙන ප්‍රතිපත්ති සඳහා රජයේ කැපවීම සමඟ රටේ දීර්ඝකාලීන ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා මෙම වසරේ එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ දී එය ඉතා වැදගත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

    මම ජනාධිපති ධූරය භාරගැනීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයත්, පක්ෂයට සහාය ලබාදෙන ඔබ සියලුදෙනාත් ඇමතීමට අවස්ථාව ලැබී තිබෙනවා.

    මම ජනාධිපති ධූරය භාරගත්තේ පසුගිය දශක 03ම සිදු නොවු අයුරින් උග්‍ර ආර්ථික කඩාවැටීමකට රට ලක්ව තිබු අවස්ථාවක. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් කඩාවැටී තිබු අතර, ආහාර හිඟයක්, ඉන්ධන හිඟයක් තිබුණා වගේම ජනතාව පාරට බැහැලා තිබුණා. මෙම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයත්, පාර්ලිමේන්තුවත් විනාශ කිරීමට ඇතැමුන් උත්සාහ ගත්තා.

    අද රටේ ආර්ථිකයේ යළි ස්ථාවරභාවයක් ඇති කර තිබෙනවා. ආහාර හිඟයක් නැහැ. ඒ වගේම රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. තර්ජනයකින් තොරව පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙනවා. සියලුදෙනාටම කිසිඳු බාධාවක් නොමැතිව තම වැඩකටයුතු කරගෙන යාමට අවස්ථාව ලැබී තිබෙනවා.

    මම ජනාධිපති ධුරයේ වගකීම භාරගැනීමට පෙර එක කාරණයක් පිළිබඳ සිතුවා. එක්සත් ජාතික පක්ෂය රට ගැන සිතන පක්ෂයක්. එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්ති දේශපාලනයෙන් සිටින පක්ෂයක්. අපි එයින් ඈත් වී නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට අවශ්‍යයි, ලෝක බැංකුවේ ආධාර අවශ්‍යයි, අපට ඩොලර් බිලියන 07ක් ලබා ගැනීමට අවශ්‍යයි කියා එක්සත් ජාතික පක්ෂයේ 2020 මැතිවරණ ප්‍රකාශයේ අප එදා සඳහන් කළා. අපි විතරයි පක්ෂයක් ලෙස එම කරුණු සඳහන් කළේ. අනෙක් සියලුදෙනාම ආර්ථික ප්‍රශ්නයක් තිබෙනවා කියලා දැන, දැනත් ඉටු කළ නොහැකි විවිධ පොරොන්දු ලබා දුන්නා.

    එහි ප්‍රතිඵලය කුමක්ද, ඇත්ත කිව්ව එක්සත් ජාතික පක්ෂය අවසානයේ ජාතික ලැයිස්තුවකට වැටුණා. අපේ ප්‍රතිපත්තිය තිත්ත ඇත්ත ජනතාවට ප්‍රකාශ කිරීමයි. ඒ නිසා අපි එයින් පසුබට වුණේ නැහැ. අපේ අරමුණ 2020ත්, 2021ත් ප්‍රකාශ කළා. 2022 මේ ප්‍රශ්නය උග්‍රවන අවස්ථාවේ මම එවකට සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මුණ ගැසී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගන්නා ලෙස උපදෙස් දුන්නා. හිටපු ජනාධිපතිවරයා මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳ වූ අවස්ථාවේ දී විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් එම සාකච්ඡා වර්ජනය කළාට මමත්, ඒ වගේම දෙමළ ජාතික සන්ධානයත් ඒ සඳහා විපක්ෂයෙන් සහභාගී වුණා.

    මගේ උත්සාහය වූයේ දේශපාලනය නොවේ රටේ ආර්ථිකය නිසි ලෙස හසුරුවාගෙන ජනතාවට සහනයක් ලබාදීමයි. ඒ නිසා රටේ ආර්ථිකය යළි ගොඩනැගීමට මට ශක්තියක් තිබෙන බවත්, ඒ වගේම මට සහයෝගය ලබා දෙන ඇමතිවරු සමග වැඩ කර එම ප්‍රතිඵල ලබා ගතහැකි බවත් මම විශ්වාස කළ නිසා ජනාධිපති ධූරයේ වගකීම මම භාරගත්තා. මම එම විශ්වාසය තැබීමට තිබූ ප්‍රධාන හේතුව වන්නේ 2001 ආණ්ඩුව කඩා වැටුණු අවස්ථාවේ යළිත් එම ආර්ථිකය නඟා සිටුවීමට මට හැකි වුණා. ඒ වගේම රටේ ආර්ථිකය ශක්තිමත් කළා. 2015 රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ දී ආර්ථිකය ශක්තිමත් කර ප්‍රාථමික අයවැය අතිරික්තයකුත් ලබා ගැනීමට අවස්ථාව ලැබුණා.

    ඒ නිසා මෙම ආර්ථික අර්බුදයට මුහුණදිය හැකි බවට වූ විශ්වාසයෙනුයි මම මෙම වගකීම භාරගත්තේ. එසේ නම් මෙම කාලය වන විට රටේ ආර්ථිකය සකස් කිරීමට වගේම දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා.

    දැන් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය අනුව වැඩ කරන විශාල පිරිසක් සිටිනවා. ඒ නිසා පළමුව මට මේ සඳහා උපකාර කළ ඇමතිවරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත්, දේශපාලන පක්ෂ සහ සංවිධානවලට වගේම විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයට මගේ ස්තුතිය පිරිනමනවා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹුණු ගිවිසුම නිසා තමයි අපිට ඉදිරියට යාමට අවස්ථාව ලැබුණේ. ඒවගේම පසුගිය සිකුරාදා මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් අනුමත කරනු ලැබුවා. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන වජිර අබේවර්ධන මන්ත්‍රීතුමා, හරීන් ප්‍රනාන්දු, මනූෂ නානායක්කාර ඇමතිවරුත් සහාය ලබා දුන්නා. ඔවුන්ට මම ස්තූති කරනවා.

    දැන් අපට තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය නීති රීති ගෙනවිත් 2024 වන විට රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයකට ගෙන ඒමට අපි අපේක්ෂා කරනවා. නමුත් මම එයින් සෑහීමකට පත් වන්නේ නැහැ.

    අපට මෙම පැරණි ආර්ථික ක්‍රමය සමග තවදුරටත් ඉදිරියට යන්න බැහැ. වර්ෂයකට දළ දේශීය නිෂ්පාදනය සීග්‍රයෙන් 6% – 7%ක මට්ටමකට ගෙන යා හැකි ආර්ථිකයක් සකස් කළයුතුයි. උදාහරණ දෙකක් මට තිබෙනවා. එකක් තමයි ඩී.එස්. සේනානායක මැතිතුමා යටතේ අපිට ආසියාවේ දෙවැනි තැනට ශක්තිමත් ආර්ථිකයක් තිබුණා. අපිට එදා එංගලන්තයට ණය දීමට හැකියාව තිබුණා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා යටතේ අපි විවෘත ආර්ථිකයත් සමඟ ඉදිරියට ගියා. විවෘත ආර්ථිකය ඇති කිරීමේ දෙවැනි වටය ආරම්භ කළේ ශ්‍රී ලංකාවයි. ඉන් පසුව තමයි චීනය ඒ සඳහා පැමිණියේ.

    ඒ නිසා මෙම පසුබිම තුළ යළිත් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යා යුතුයි. ආර්ථිකයේ අවසානයට සිටින්නේ කවුද කියා අපට ඇෆ්ගනිස්ථානය සමඟ සටන් කරන්න බැහැ. ඒ නිසා අපි ඉදිරියට යා යුතුයි. දියුණු ආර්ථිකයක් ගොඩනැගිය යුතුයි. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සිදු කළා වගේ නව ව්‍යාපෘති ගණනාවක් සමඟ ඉදිරියට යමින් නව ආර්ථිකය සමඟ එක් විය යුතුයි. එසේ නොකළහොත් අපිට අනාගතයක් නැහැ. අපි සිතිය යුත්තේ අපේ අනාගතය පිළිබඳව නොවෙයි, රටේ තරුණ පරපුරේ අනාගතය පිළිබඳවයි.

    2048 නිදහසින් සියවස සමරද්දි අපි දියුණු ආර්ථිකයක් ඇති රටක් බවට පත්විය යුතුයි. එම ඉලක්කය 2047දී ඉන්දියාවට තිබෙනවා. චීනය 2049 එම ඉලක්ක සපුරා ගැනීමට වැඩ කරනවා. 2048 ශ්‍රි ලංකාව දියුණුවේ වසර බවට පත්කර ගතු යුතුයි.

    අපි මේ ආර්ථිකය ගොඩනඟා දෙන්නේ අද සිටින තරුණ පරපුර සහ දරුවන් වෙනුවෙන්. එම අලුත් ආර්ථිකය ඉතා තරගකාරී ආර්ථිකයක් විය යුතුයි. සමාජ සාධාරණත්වය පදනම් කරගත් විවෘත ආර්ථිකයක් විය යුතුයි. විශේෂයෙන්ම අපනයන වෙළෙඳපොළ ඉලක්ක කරගත් තරගකාරී ආර්ථිකයක් මෙන්ම හරිත හා ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි. අපි එතනට යාමටයි උත්සාහ කරන්නේ. ඒ සඳහා තමයි අපි සියලුදෙනාගේ සහාය ඉල්ලා සිටින්නේ.

    කෙටි කාලීන දේශපාලනය ගැන සිතන්න එපා. අද හෙට ගැන නොවෙයි 2048 ගැන සිතන්න. රට දියුණු කළ යුතුයි. අපි අද හෙට ගැන සිතා බොරු පොරොන්දු දී රට මේ තත්ත්වයට ගෙනාවා, පාරිලිමේන්තුවට ජනතාවගේ සහාය නැවත ලබාගැනීමට නම් මේ අලුත් මාවතේ යා යුතුයි.

    ඒ නිසා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඔබ සියලුදෙනාටම මම යෝජනා කරන්නේ අපි අනාගතයට යන පක්ෂය වෙමු. අපි අලුතින් සිතමු. අපි මේ රටේ තිබෙන පැරණි දේශපාලන ක්‍රමවේදය වෙනස් කරන පක්ෂයක් බවට පත් වෙමු. එයයි මම ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම සම්මත කර ගත් නිසා එයින් ඉදිරියට යාමටයි මම දැන් බලාපොරොත්තු වන්නේ. අපි ඉදිරියට යනවා නම් කරුණු දෙකක් තිබෙනවා. එකක් මේ රටේ තිබෙන ජනවාර්ගික ප්‍රශ්නය විසඳිය යුතුයි. ඒ සඳහා අපි සාකච්ඡා කරමින් සිටින අතර මේ වසර අවසන්වන විට යම් එකඟතාවකට පැමිණිමට මම අපේක්ෂා කරනවා. කිසිවෙකු පාගන්නේ නැතිව, සිංහල මහා ජාතියත්, දෙමළ, මුස්ලිම්, බර්ගර් සුළු ජාතිනුත් ආරක්ෂා කරගෙන අපි ඉදිරියට යා යුතුයි. ඒ සඳහා අපි සියලුදෙනාම කැප වෙමු.

    දෙවනුව මේ රටේ දේශපාලන හා ආර්ථික ක්‍රමයේ වෙනසක් අවශ්‍යයි කියලා තමයි තරුණ තරුණියන් කියන්නේ. අපි ඊට ඇහුම්කන් දිය යුතුයි. ඒ සඳහා පියවර කිහිපයක් ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. එකක් තමයි පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාවලට සහ අධීක්ෂණ කාරක සභාවලට තරුණ නියෝජිතයන් පස් දෙනා බැගින් පත් කිරීම. එම පත්කිරීම් මැයි මාසයේ දී අවසන් කරනවා. දෙවනුව කරූ ජයසුරිය මැතිතුමාගේ යෝජනාව අනුව ජන සභා කෙටුම්පතත් අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අපි සියලුදෙනා එකඟත්වයෙන් යුතුව මෙම නව ආර්ථිකය ගොඩනඟමු. නව ව්‍යවස්ථාවක් සමග අපි ඉදිරියට යමු.

    ඒ නිසා අද මම එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපි මේ අලුත් ගමන ආරම්භ කරමු. පසුගිය ඡන්දයේදි සජබ මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකුණා. අපි සියලුදෙනා විවෘත ආර්ථිකයක් පිළිගන්නවා. ඒ නිසා දැන් පාර්ලිමේන්තුව, ආණ්ඩුවක් කරගෙන අපි සියලුදෙනා එකට වැඩ කරමු.

    වමේ පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති අනුව මේ ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැහැ කියා කිව්වා. දැන් අපට තිබෙන්නේ අනාගතය පිළිබඳ අවධානය යොමු කිරීමට. ඒ සඳහා ගෙන යන අලුත් වැඩපිළිවෙල සමඟ එක්වන්න කියා මම ආරාධනා කරනවා. වෘත්තීය සමිතිවලට වගේම අනෙකුත් සංවිධානවලටත් ඒ සමග එක්වන්න කියා මම ආරාධනා කරනවා.

    මෙම නව වැඩසටහන පිළිබඳ කැබිනට් මණ්ඩල යෝජනා පක්ෂවලට ලබාදී පාර්ලිමේන්තුවේ ජාතික සභා සමගත් සාකච්ඡා කළා. අපට දැන් තිබෙන්නේ මේ පිළිබඳ පුළුල් එකඟතාවක් ඇති කර ගැනීමයි. එසේ නම් බිය නැතිව අපට ඉදිරියට යා හැකියි. මෙය විසි පස් වසරක වැඩසටහනක්. ඒ නිසා වසර විසි පහක මෙම වැඩසටහන ක්‍රියාත්මක කර රට දියුණු කරමු කියන ඉලීම කරමින්, ඒ සඳහා ඔබ සියලුදෙනාගේ සහාය අපේකෂා කරමින් මගේ කතාව අවසන් කරනවා.

    එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක

    රුවන් විජයවර්ධන මහතා:

    වැඩ කරන ජනතාවගේ දිනය සැමරීමට එජාප මැයි දින සැමරුමට සහභාගී වූ සැමට මගේ ස්තුතිය පළ කරනවා. අප රටේ වැඩකරන ජනතාවගේ අයිතීන් ලබා දුන්නෙත් අයිතීන් ආරක්ෂා කළේත් එක්සත් ජාතික පක්ෂයයි. කර්මාන්ත ශාලා බිහි කොට යහපත් ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලබා දුන්නේ එජාපයයි. අධ්‍යාපන අයිතිය ඇතුළු වෘත්තීය අයිතීන් ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බව කිව යුතුයි. මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ඇතිකර වැඩකරන ජනතාවගේ දරුවන්ට අධ්‍යාපන නිම් වළලු පුළුල් කරන්නට අපට හැකි වුණා.

    වැඩකරන ජනතාව පීඩිත පන්තිය බවට පත්කර උද්ඝෝෂණ අරගලවලට පමණක් හිර කරන්නට ඇතැම් පක්ෂ කටයුතු කළා. එලෙස පීඩිත පන්තියක් ඇතිකරගත්තේ තමන්ගේ දේශපාලන ගමන යාම සඳහායි. එක්සත් ජාතික පක්ෂය කිසිදිනක වැඩකරන ජනතාව උද්ඝෝෂණ වලට හිර කළේ නැහැ. ජනතාවට වරප්‍රසාද ලබා දී හොඳ ජීවිත ගත කරන්නට හැකි තැනකට ගෙන ඒමට අප කටයුතු කළා.

    වැඩ කරන ජනතාවට වරප්‍රසාද ලැබෙන්නට නම් ශක්තිමත් ආර්ථිකයක් තිබිය යුතුයි. දියුණු වෙමින් පවතින රටක් නොව දියුණු රටක් බවට මේ රට පත් පත්කර ගත යුතුයි. එහෙම කරන්නට නම් සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමය වෙනස් කළ යුතුව තිබෙනවා. ගිය වසරේ තරුණයන් පාරට බැස අරගල කළා. වෙනසක් අවශ්‍ය බව ඔවුන් පැවසුවා. නමුත් අරගල කරුවන් අතරින් දහ දෙනෙක් ගත්තොත් මත දහයක් තිබුණේ.

    ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල ජනතාවට සන්තෝසම් දීලා කෙටිකාලීන ප්‍රතිපත්ති මත ආණ්ඩු කළා.රට දියුණු කරන්න නම් කෙටිකාලීන තීන්දු ගන්න බැහැ. දිගුකාලීන සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති සමඟ රට ඉදිරියට ගෙන යා යුතුයි.

    රනිල් වික්‍රමසිංහ මහතා “ජයගමු 2048” යනුවෙන්ම වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ ඒ නිසයි.2048 වන විට අප බොහෝ දෙනෙක් ජීවතුන් අතර නැහැ .නමුත් මේ දරුවන්ට දියුණු රටක ජීවත් වන්න අවස්ථාව ලබාදිය යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළේ ඒ සැලසුම.

    ඒ සැලසුම සඳහා අප සියලු දෙනා ජනාධිපතිතුමාට ශක්තිය දිය යුතුව තිබෙනවා.එහෙම ගියොත් ඉදිරියේදී අපට දියුණු රටවල් සමඟ කරට කර ඉන්න හැකියාව ලැබෙනවා. අපට අවශ්‍ය වන්නේ දියුණු වෙමින් පවතින රටක් නොව දියුණු රටක්.ඒ සඳහා ජනාධිපතිතුමාගේ මගපෙන්වීම අවශ්‍යයි. ඒ ශක්තිය තිබෙන්නේ එතුමාටයි.

    ඒ නිසා පක්ෂ පාට භේද පසෙක තබා සියලු දෙනා එකට එකතු විය යුතුව තිබෙනවා.ඒ වේදිකාවේ මූලිකත්වය ගන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.එතුමාගේ සැලසුම ඉදිරියට ගෙන ගියොත් දියුණු රටක වරප්‍රසාද භුක්ති විදින්න හැකියාව තිබෙනවා. ඔබ අදත් හෙටත් අපට ශක්තියක් ලබා දුන්නා. කිසි කලෙක අප හැර ගියේ නැහැ. ඔබට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරනවා.

    ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි

    එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා

    මැයි දිනය ගැන කතා කරන විට සාමාන්‍යයෙන් මතකයට එන්නේ දහඩිය පෙරාගෙන වැඩ කරන කම්කරුවන් ගැනයි. නමුත් අද තරුණ පරපුරෙන් ඇහුවොත් මැයි දිනය ගැන මතකයට එන්නේ වැඩකරන ජනතාවයි. පරිගණකය ඉදිරියේ කටයුතු කරන තරුණයෙක්. නූතන කර්මාන්ත ශාලාවක වැඩ කරන කෙනෙක් ගැනයි.

    නිදහසින් පසු මේ රටේ කාර්මිකකරණය, නිදහස් සෞඛ්‍යය, කර්මාන්තපුර ඇති කරමින් එජාප නායකයන් කටයුතු කළා. මේ දියුණුව දැන් ඇතිද කියා අපි තීන්දු කළ යුතුයි. ආණ්ඩුවක් වෙනස් වන විට ප්‍රතිපත්ති වෙනස් වීම එදා සිටම පැවති දුර්වලතාවයක්. 2019 දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ රජය විපක්ෂයට යන විට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තිබුණා. නමුත් ඒ වෙනස ඇති වුණාට පසුව ප්‍රතිපත්ති වෙනස් වුණා. එයින් රටේ අර්බුදයක් ඇති වුණා.

    ඒ අර්බුද අවස්ථාවේදී යළිත් එතුමා රටේ ජනාධිපති ධූරය භාරගෙන රටේ වගකීම භාර ගත්තා. උඩු යටිකුරු වී තිබූ බදු ප්‍රතිපත්තිය නැවත සකස් කළා. තිබෙන කෙනාගෙන් අරගන්නා බදු ප්‍රතිපත්තියක් තමයි නූතන ලෝකය අනුගමනය කරන්නෙ. අපි ඒක වෙනස් කළා. වක්‍ර බදු වැඩි කර, වක්‍ර බදු හතර ගුණයක් එකතු කරමින් ආදායම් බදු එකක් එකතු කරන විට. මේ සියලුම ජනතාවයි ඒක ගෙවන්නේ. ඒක වෙනස් කරද්දි රිදෙනවා. කාලයක් ගෙවන්නේ නැතිව සිටි අවස්ථාවක උපයන විට බදු නැවත ගෙවන විට රිදෙනවා. අකමැත්තෙන් හෝ අපට ඒ දේ කරන්න සිදු වුණා.

    ගෑස්, තෙල් පෝලිම් නැති කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පියවර ගත්තා. විදේශීය සබදතා නිසි ලෙස කළමනාකරණය කරන්න එතුමා කටයුතු කළා. රටේ ආර්ථිකය ස්ථායීකරණය කරන්න පියවර ගත්තා. ආර්ථිකය නැවත සකස් කරන්න පියවර ගත්තා. යල කන්නයට අවශ්‍ය පොහොර ලබා දුන්නා. මහ කන්නය වන විට නැවත පොහොර ලබාදුන් නිසා හොද අස්වැන්නක් ලැබුණා. විදේශ විනිමය ආරක්ෂා කරන්න ආනයන සීමා පනවන්නට පියවර ගත්තා. ආර්ථිකය නැවත ශක්තිමත් වන විට ඒවා නිදහස් කරන්න පියවර ගනිමින් සිටිනවා. සංචාරක කර්මාන්තය වැඩිදියුණු වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත් වෙන්න පටන් ගත්තා.

    ජනාධිපතිතුමා රට භාර ගත්තේ උද්ධමනය සියයට 70ක්ව පැවති රටක්. ගිය මාසයේ අග වන විට සියයට උද්ධමනය සියයට 50කට ගෙන ආවා. මේ වසරේ අග වන විට උද්ධමන අගය තනි ඉලක්කමකට ගැනීමට උත්සාහ කරනවා. බිංදුවට වැටී තිබූ විදෙස් සංචිතය දැන් ඇමරිකානු ඩොලර් මිලියන 1.3 ක් දක්වා වැඩි වුණා. භාණ්ඩ මිලත් අඩු වෙමින් පවතිනවා. තෙල් මිල තවත් අඩු වුණා. තව ටික දවසකින් ගෑස් මිලත් තව අඩු වෙනවා.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම් නිසා මෙවැනි ප්‍රතිලාභ රටට ජනතාවට ලැබෙන්න පටන් අරන් තිබෙනවා. මෙතැන් ඉදිරියට යන වැඩපිළිවෙළ ගැන තීන්දු කරන්න අවශ්‍යයි. සංචාරක කර්මාන්තය දියුණු කරන්නේ, කර්මාන්පුර ඇති කරන්නේ, ආයෝජකයන් ගෙන්වා ගන්නේ, පුනර්ජනනීය බලශක්තිය දියුණු කරන්නේ, තොරතුරු තාක්ෂණය දියුණු කරලා රටේ ආර්ථිකයට ශක්තියක් ගන්නේ කෙසේද කියා සොයා බැලිය යුතුයි. එහෙම වුණොත් 2048 දී රටේ සංවර්ධන ඉලක්කය ජයග්‍රහණය කරන්න පුළුවන්කම ලැබෙනවා. එම වැඩපිළිවෙළට නායකත්වය දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දැක්මක්, දර්ශනයක් තිබෙනවා. එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලුම දෙනා එකතු වෙලා වැඩ කරමු.

    එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා

    ජනාධිපතිතුමා මැයි දිනයේ දී වැදගත් පිණිවුඩයක් ලබා දුන්නා. මේ ශාලාවේ ඉන්න බහුතර පිරිස පක්ෂය වැටුණත්, වෙනස් නොවී එක දිගටම විශ්වාසයක් ඇතිව සිටි පිරිසෙන් කොටසක් බව කිව යුතුයි. තම පක්ෂය කවදා හරි රටේ අනාගතය ආරක්ෂා කරයි කියා ඔබට විශ්වාසයක් තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික නායකත්වයට තිබුණු එකම නුසුදුසුකම, සුදුසුකමයි.

    1994 වසරින් පසුව වසර තිහකට ආසන්න කාලයක් දෙස් විදෙස් බලවේග එක් කෙනෙකුට බයයි. ඒ තමයි වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතාට. එතුමාව බිම දාන්න හැම ක්‍රමයකටම බැලුවා. අපේ පක්ෂයේ නායකයන් රට ගොඩගන්න උත්සාහ කරන සෑම අවස්ථාවකදීම අකාලයේ මිය ගියා. කිසිවකුටත් හොඳින් ජීවන ගමන අවසන් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඇතැම් නායකයන් මහපාරේ ඝාතනය වුණා.

    බංකොලොත් වූ රට ගොඩගන්න පුළුවන් නායකයෙක් ආරක්ෂා වෙලා හිටියා. ඒ රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ නායකයා නිසා තමයි අද මේ කොළඹ වටේ තිබෙන සෑම මැයි රැළියකටම මහජනතාව පැමිණ තිබෙන්නේ. එතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඩීසල්, පෙට්‍රල්, පොහොර නොඅඩුව ලබා දුන්නා. ජාති ආගම් බේදයකින් තොරව රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයාට සහයෝගය ලබා දිය යුතුයි. ශ්‍රී ලංකාව ලෝකයේත්, ආසියාවේත් ඉහළටම ඔසවා තැබිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි.
    මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් කරන්න එතුමා උත්සාහ කරනවා. ඩී. එස්. සේනානායක මැතිතුමා එදා අධිරාජ්‍යවාදීන්ගෙන් රටට නිදහස ලබා ගත්තේ සියලුම දේශපාලන පක්ෂ එකට එකතු කරගෙනයි. අරගලකරුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ නිවසත් ගිනි තිබ්බා. ඒත් එතුමා සැලුණේ නැහැ. අපට වෙන පාරක් නැහැ. ජාතික නායකත්වය ආරක්ෂා කරගෙන, ශක්තිමත් කරගෙන 2048 වසරේ දියුණු රටක් තේමාව සාක්ෂාත් කර ගැනීමට අප සියලුදෙනා සහාය ලබා දිය යුතුයි.

    මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා

    ජාත්‍යන්තර කම්කරු සැමරැම් දිනය අද සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ ආශිර්වාදයෙන් යුතුව අපි සමරන්නේ ඉතා ආඩම්බරයෙන් බව කිවයුතුයි. එජාපය හැරුණාම අනික් දේශපාලන පක්ෂත් අතීතයේ විවිධ අවස්ථාවලදී අභියෝග භාරගෙන තිබෙනවා. නමුත් එම පක්ෂ අභියෝගවලින් පැනගිය අවස්ථා ද තිබෙනවා. එවැනි අවස්ථා මෑත ඉතිහාසයේත් දක්නට ලැබුණා. එක්සත් ජාතික පක්ෂය හැමදාම අභියෝග භාර ගත්තා, ඒ වගේම අභියෝග ජයග්‍රහණය කළා.

    මේ පක්ෂයේ නිර්මාතෘ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතා මේ රට අධිරාජ්‍යවාදයෙන් මුදවාගෙන නිදහස් මාතෘ භූමියක් නිර්මාණය කිරීමේ වගකීම නොබියව භාරගත් නායකයෙක්. කිසිදු ලේ සෙලවීමකින් තොරව රට නිදහස් කර ගැනීමට සමත් වුණා. ඊළඟ නායකත්වයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන මහතාට භාරගැනීමට සිදුවුණේ ඇවිදින ඇටසැකිළි තිබූ රටක්. ලෝකයේ කොන්වෙලා තිබූ අපේ රට එතුමා ලෝකයට අවතීර්ණ කළා.

    එදා වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ ජනතාව ජනාධිපති ධූරය ලබා දීමට කටයුතු කළේ නැහැ. නමුත් එතුමා ජනාධිපති ධූරය නොදුන්නා කියලා ජනතාවට වෛර කළේ නැහැ. ඉවසාගෙන රට වෙනුවෙන් නිරතුරුවම කැපවුණා.

    2001 වසරේදී මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලයි තිබුණේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා විදිහට එදා කඩාවැටුණු රට භාර ගත්තා. එදා රටේ ආර්ථිකය සෘණ අගයක් ගත්තා. නමුත් එතුමා මාස තුනක් යන්නට පෙර රටේ ආර්ථිකය ධන අගයක් බවට පරිවර්තනය කළා. 2015දීත් රට නිවැරදි ලෙස කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන යෑමට අගමැතිවරයා විදිහට එතුමා සමත් වුණා. 2022දීත් ජනාධිපතිවරයා විදිහට එතුමා බංකොලොත් වූ රටේ ආර්ථිකයක නිසි මාවතකට ගෙන එමින් රට ඉදිරියට ගෙන යෑමේ අභියෝගය භාරගෙන තිබෙනවා.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාව වී තිබෙන්නේ 2048 දී රට දියුණු රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමයි. එතුමාට මේ රට දියුණු කිරීමේ සැලසුමක් තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට හැරෙන්නට වෙන කිසිදු නායකයෙක්ට මේ රට ගොඩනගන දැක්මක් නැහැ. 2048 වන විට නියත වශයෙන්ම ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කිරීමේ ඉලක්කය සපුරා ගැනීමේ වැඩපිළිවෙළට අපි සියලුම දෙනා සහාය ලබා දෙමු.

    මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා

    පසුගිය වසරේ එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරුවේ ඉතාම අමාරු අවස්ථාවකයි.1956 මැතිවරණය පැරදුනාම එක්සත් ජාතික පක්ෂයේ මිනී පෙට්ටියට ඇනේ ගැහුවා කියලා කිව්වා.70 දී එක්සත් ජාතික පක්ෂය වළ දැම්මා කියලා කිව්වා. 88 ජනතා විමුක්ති පෙරමුණේ ටී56 එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නට හැදුවා. 93 දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ බෝම්බවලින් අපේ හිටපු නායකයින්ව විනාශ කරන්න හැදුවා. 2020 දී පක්ෂය දෙකට කඩලා එක්සත් ජාතික පක්ෂ විනාශ කරන්න හැදුවා. නමුත් අද රටේ අනාගතය තීරණය කරන පක්ෂය බවට නැවත එක්සත් ජාතික පක්ෂය පත්වී තිබෙනවා.

    නමුත් අවසානයේ අපේ ජනාධිපතිතුමා අපේ පක්ෂයේ නායකයා රටේ ජනාධිපති වශයෙන් පත් වෙනවා. එදා දුටුගැමුණු කුමාරයා, දියසෙන් කුමාරයා, විහාර මහා දේවී බිහි වෙන තුරු බලා සිටියා. නමුත් මේ රට කඩා වැටුණාම ඒ අභියෝගය බාර ගත්තෙ වෙන කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමායි.

    අද එතුමා පියවරෙන් පියවර මේ රට ඉදිරියට ගෙන යමින් සිටිනවා. තමුන්නාන්සේලා දන්නවා බොහෝ අපහාස මැද මඩ ප්‍රචාර මැද තමයි එතුමා මේ ගමන ආවේ. සමහරවිට ජනාධිපති උනාට පස්සේ එතුමා පලිගැනීම් කරයි කියලා ඇතැමුන් කිව්වා. එතුමා කාගෙන්වත් පළිගන්න ගියේ නෑ. එතුමා කළේ, මේ රට පිළිගැනීමට ලක්ව නොමැති මොහොතක රට ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් කිරීමයි.
    අද වෙද්දි විපක්ෂයට මහා ඛේදවාචකයක් අත්ව තිබෙනවා. විපක්ෂයටම පංචමහා ශෝකයක් ඇති වෙලා මොකක්ද මේ ශෝකය. පොලිම් නැති වීමේ ශෝකය, විදුලිය නොකැපිමේ ශෝකය,පෙට්‍රල් සහ ගෑස් මිල අඩු වීමේ ශෝකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහනය ලැබීමේ ශෝකය. විපක්ෂය දේශපාලනය කළේ මේවා තුළින් තමයි.

    ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා ජනාධිපති වුණේ එතුමාට 70 පැන්නට පස්සේ. එතුමා දෙපාරක් ජනාධිපති ධුරයේ හිටියා. ඒ වගේම අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් 70 පැනපු ගමන් මේ රටේ ජනාධිපති වෙනවා. මේ රටේ විශාල වෙනසක් සිදු කර, තරුණයන් වෙනුවෙන් යහපත් අනාගතයක් ඇති කර, 2048 දියුණු රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙලට එතුමා උර දී සිටිනවා

    හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා

    මැයි දිනයට වැදගත් ඉතිහාසයක් තිබෙනවා. මැයි දිනය විවිධ අවස්ථාවල අපි සමරලා තිබුනට, අද දිනයේ ඉතාම තීරණාත්මක මොහොතක තමයි අපි මැයි දිනය සමරන්නට සූදානම් වන්නේ. පසුගිය වකවානුව තුළ අපට තිබුනේ පෝලිම් යුගයක්.

    අද වර්තමාන නායකත්වය විසින් මේ ප්‍රශ්න විසඳමින් රට ඉදිරියට ගෙනවිත් තිබෙනවා. වැඩ කරන ජනතාවට විතරක් නෙමෙයි මේ රටේ ආයෝජකයන්ටත් මේ ප්‍රශ්නය තදින්ම බලපෑවා. ඒ නිසාම අපි අලුතෙන් සිතිය යුතුයි. අපි ඉන්නේ අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් සටන් කරන යුගයක නෙවෙයි. රටේ නව යුගයක් වෙනුවෙන් අපි සටන් කරන්නට අවශ්‍යයි.

    ආයෝජකයින්ට තම ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යාමට හැකි පරිසරයක් අප රට තුළ නිර්මාණය කළ යුතුයි. වැඩකරන ජනතාවට ප්‍රතිලාභ ලැබෙන, සියලු දෙනාට ජීවත්විය හැකි සාමකාමී පරිසරයක් රට තුළ තිබිය යුතුයි. ඒ යථාර්ථය අපි හැමදෙනාම තේරුම් ගත යුතුයි.

    මේ මැයි දිනයේදී අපි නව චින්තනයකින් පිබිදෙමු. රට පෙරට තබා වැඩ කරමු. රට වෙනුවෙන් වැඩ කරමු. එහෙම රටක අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ අයිතිවාසිකම් ඔබ කෙරෙහි නිරතුරුව ළඟා වේවි.

    රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. ආර්ථිකය ශක්තිමත් කරන්න වැඩකරන ජනතාව වගේම, ආයෝජකයන් අතර සංහිඳියාවක් අවශ්‍ය වෙලා තිබෙනවා. මම මේ කතාවේදී කම්කරුවෝ වෙනුවට වැඩකරන ජනතාව කියන වචනය ඕනෑකමින් පාවිච්චි කළේ, කම්කරුවෙක් කියන කොට අපේ මතකයට එන්නේ, දහඩිය දාගෙන වැඩ කරන කුලී සේවකයෙක්, වතු සේවකයෙක්, හරි පතල් සේවකයෙක් පමණයි. අද මේ තත්ත්වය වෙනස් වෙලා. ඩිජිටල්කරණය තුලින් විශ්වීය තත්ත්වයක් ඇතිකරලා, ඒ තුළින් රැඩිකල් වෙනසක් වෙලා තිබෙනවා. ඒ වෙනස තමයි අද පේන්නට තිබෙන්නේ.

    සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා

    ජනාධිපතිතුමාගේ කතාව ඇසූ විට විශාල සතුටක් දැනෙනවා. ‍මේක ජනාධිපතිතුමාගේ පක්ෂය. අපට බැරිද පෙළපාලියක් යන්න. ජනාධිපතිතු‍මාගේ කතාව තුළ තිබුණේ ඉලක්කයක්, දැක්මක්. අන්න ඒකයි දේශපාලන වෙනස. ඕනෑම කෙනෙකුට ඉලක්කයක් නැත්නම් ගමනක් යන්න බැහැ. හය පාරක් අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපති වෙලා දැන් සෙල්ලම් කරන්නෙ එතුමා කැමති පිට්ටනියක.

    එදා අභියෝග භාර නොගත් නායකයන් අද පෙළපාලි ගිහිල්ලා වැඩක් නැහැ. ඒක තෙරුම් යන්න සමගි ජන බලවේගයට ගොඩක් කල් යයි. තේරුම් ගත්ත පිරිස තමයි අද මෙතැන ඉන්නේ. ජනාධිපතිතුමා මට භාර දුන්නේ විශාල අභියෝගයක්. ලබන වසර වන විට සංචාරයකයන් පැමිණිම අතින් ලෝකයේ පළමු රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපේ අපේක්ෂාවයි. විදේශ රැකියා සහ මගේ සංචාරක අමාත්‍යාංශයෙනුත් දැනටමත් බිලියන 2.5ක් ගෙනැත් තිබෙනවා. එනිසා මේක හරියට කළොත් ඉලක්කයට වැඩ කළොත්, හරි වෙනසක් කළොත් රට හදන්න බැරිකමක් නැහැ.

    අපේ අනාගත පරපුරට රටක් ගොඩනගා දීමයි ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වන්නේ. 2048 මේ රට ජයග්‍රහණය කරවීමයි එතුමාගේ දැක්ම. අපි, ඔබ වෙනුවෙන් නෙමෙයි ඒ දේ කරන්නේ. අපේ අනාගත පුරපුර වෙනුවෙන්. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා තෙල් තිබුණේ නැහැ. කන්න විදිහක් තිබුණේ නැහැ. ඒ යුගය උඩු යටිකුරු කළේ රනිල් වික්‍රමසිංහ නෙමෙයිද? ඇත්ත කල්පනා කර බලන්න. අද අපේ මැයි දිනයේ තේමාව 2048 රට ජයග්‍රහණය කරවිමයි.

    එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුමේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය

    පසුගිය කොවිඩ් වසංගතයෙන් ඇරඹි ආර්ථික කඩාවැටීමට ලක්වූ රට තුළ කම්කරුවා අන්ත අසරණභාවයට පත්වෙද්දී, ඔවුන් දේශපාලන මෙවලමක් කරගත්තා මිස ඔවුන්ගේ ජීවිත සුරක්ෂාව වෙනුවෙන් තීරණ ගන්නා කණ්ඩායම් අප දුටුවේ නැහැ. ඔවුන් සැමදා කළේ අපේ පක්ෂය කම්කරු සතුරෙකු ලෙස හංවඩු ගැසීමයි.

    එහෙත් සේවක භාරකාර අරමුදල පිහිටුවීම, සේවක අර්ථසාධක අරමුදලට ලබාදෙන පොලී අනුපාතය ඉහළ දැමීම, අවිධිමත් ලෙස සේවය කළ පිරිස් විධිමත් සේවකයින් බවට පත් කිරීම, සේවකයන්, සේවයෙන් ඉවත් කිරීමේදී වන්දි සූත්‍රයක් හදුන්වාදීම, කම්කරු ආරවුල් පනත ගෙන ඒම, පාරිතෝෂික දීමනා පනත සම්මත කරමින් සේවකයින්ගේ අනාගතය පිළිබද
    මූල්‍ය ස්ථාවරයක් ඇති කිරීම වැනි පියවර ගත්තේ අප මිස ඔවුන් නොවන බව මතක් කළ යුතුය.

    රටට නිදහස දිනාදුන්, ජාතිවාදී, ආගම්වාදී, පටු රාමුවෙන් මිදුණ විශ්වීය ගුණ ඇති පක්ෂයක් මෙන්ම, ලිබරල් ප්‍රතිපදාවකින් යුත් පක්ෂයක් ලෙස මානව සම්පතේ හෙට දවසේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පහත යෝජනා ඉදිරිපත් කර සිටිමි.

    1. කම්කරුවාගේ තිරසර ආරක්ෂාව සහ සමාජ ආරක්ෂණය සහතික කරමින් කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතරම ශක්තිමත් ව්‍යවසායකයෙක් නිර්මාණය කරන, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය දිරිගන්වන ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සකස් කර ව්‍යවස්ථාදායකය තුළ සම්මත කරගැනීම.

    2. සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබා දෙන ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ඉහළ නංවාගැනීමටත්, දායකත්වය ලබාදෙනු ලබන ආයතන ප්‍රමාණය ඉහළ නංවාගැනීමටත් වන සක්‍රීය හා ඵලදායී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීම සහ අවිධිමත් අංශයේ රැකියාවල නියුතු අයත් සේවක අර්ථ සාධක අරමුදලට ඇතුළත් කර ගැනීම.

    3. සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් රට තුළ ස්ථාවර කිරීම සදහා පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කළ යුතුව තිබේ. රටේ ආර්ථිකය තුළ විධිමත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයන්ට ඇතුළත් නොවන අසංවිධිත අංශයේ සේවකයින් වෙනුවෙන් පුළුල් සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමටත් රැකියා අවසාන කිරීමකදී හෝ රැකියාව අහිමිවීමේදී ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වන ආකාරයේ දායකත්ව විරැකියා රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරම.

    4. 2048 දී සංවර්ධිත රටක් වෙනුවෙන් වන උපායමාර්ගික වැඩපිළිවෙලට ගැලපෙන ආකාරයට මානව සම්පත, ආර්ථික වශයෙන් ඵලදායී ලෙස යොදා ගැනීම සදහා කටයුතු කරමින් මීලග ශිෂ්ඨාචාරය ජයගත හැකි නවීන වැඩ ලෝකයට ගැලපෙන මානව සම්පතක් බිහි කිරීම සදහා වන උපාය මාර්ගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

    5. ආර්ථික වශයෙන් ඵලදායී මානව සම්පතක් බිහි කරගැනීමටත්, විදේශගත ශ්‍රමිකයාගේ ආරක්ෂාව සහ සුබසාධනය සහතික කිරීම සදහාත් කම්කරු ක්ෂේත්‍රය සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම.

    6. ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පිළිගෙන ඇති පරිදි, වෘත්තිය සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය මූලික අයිතිවාසිකමක් යන්නට ගරු කරමින්, සියලුම සේවා ස්ථානවල ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය සුරක්ෂිත කිරිම සදහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් කිරීම.

    7. සේවා ස්ථානයේදී ලිංගිකත්වය මත පදනම්වූ වෙනස්කම්වලට භාජනවීමෙන් වැලැක්වීම සදහාත්, කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඉහළ නංවාගැනීම සදහාත්, සේවයේ යොදවා ඇති සේවිකාවන්ගේ මාතෘ ප්‍රතිලාභ සමාජ ආරක්ෂණ අරමුදලකින් ගෙවීම සදහාත් විධිමත් නෛතික රාමුවක් සකස් කිරීම.

    8. ඕනෑම වෘත්තියක නිරතවන ශ්‍රමිකයාගේ අභිමානය, ගරුත්වය සහ වෘත්තිකත්වය ආරක්ෂාවන වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම.

    9 ආබාධිත සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් මානව සම්පත් ලෙස දිරිගැන්වීමට අවශ්‍ය පියවර ගැනීම.

    10. අයිතිවාසිකම් සහ සුභසාධනය ශක්තිමත් , නූතන වැඩ ලෝකයට ගැළපෙන වතු කම්කරුවෙක් නිර්මාණය කිරීම.

    11. අනාගත වැඩ ලෝකයේ ඇතිවන තාක්ෂණික වෙනස්කම් සදහා ප්‍රතිපත්‍ති සම්පාදනය සදහා විශාල දත්ත ඒකරාශී කරගැනීමේ අරමුණින් පුද්ගලික සහ රාජ්‍ය ශ්‍රම වෙළදපොල පදනම් කරගත් ජාතික වෙළදපොල තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.

    මෙම මැයි දින සැමරුම් උත්සවයට එජාප හිටපු අමාත්‍යවරු, මන්ත්‍රීවරු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන් ද, එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත වෘත්තිය සමිති ඇතුළු අනෙකුත් සංවිධානවලට අයත් ක්‍රියාකාරීන් හා පාක්ෂිකයන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya