ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීම සඳහා නව ආයතනයක් කඩිනමින් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාතික කෞතුකාගාරය, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම සංස්කෘතික ත්‍රිකෝණය, විශ්වවිද්‍යාල සහ රාජකීය ආසියාතික සංගමය සම්බන්ධ කරගනිමින් එම ආයතනය ස්ථාපිත කරන බවත් අදාළ නීති කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (27) පැවැති රාජකීය ආසියාතික සංගමයේ 178 වන සැමරුමට එක්වෙමිනි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත රාජකීය ආසියාතික සංගමයේ ප්‍රකාශන කිහිපයක මුල් කෘති පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
මුලින්ම මෙම අවස්ථාවට මට ආරාධනා කිරීම සම්බන්ධව වගේම සහ රාජකීය ආසියාතික සංගමයේ (RAS) සඟරාවල මුල් පිටපත් කිහිපයක් ලබා දීම පිළිබඳව ද ඔබ සැමට ස්තූතිවන්ත වෙනවා.
මෙම පොත්වල මුල් පිටපත් විශාල ප්‍රමාණයක් මගේ මවගේ පොත් එකතුවේ තිබුණා. එම පිටපත් ආයතන කිහිපයකට ලබා දීමට බලාපොරොත්තුවෙන් හිටියේ. එහෙත් අවාසනාවකට අරගලයත් එක්කම එම පොත් විනාශ වී ගියා. ඉතින් අරගලය සම්බන්ධව මෙතැන සිටින අයට තිබූ භය මටත් තේරුම්ගත හැකියි.
ශ්‍රී ලංකාවේ ඇති රාජකීය ආසියාතික සංගමය සහ කල්කටාහි පිහිටි ශාඛාව ද මේ උප මහාද්වීපයේ ඉතිහාසය වාර්තා කිරීමේදී වටිනා සේවයක් සිදුකර තිබෙනවා. මම හිතන ආකාරයට අගවිනිසුරු ඇලෙක්සැන්ඩර් ජොන්සන්, ජෝර්ජ් ටර්නර් වගේ අයත් කල්කටාවේ බොහෝ ප්‍රසිද්ධියට පත් වූ වින්සන්ට් වැනි අයත් අපේ ඉතිහාසය පමණක් නොවෙයි, ඉන්දියාවේ ඉතිහාසයද ගවේෂණය කිරීමේ කාර්යය බොහෝ හොඳින් සිදු කළා.
අපිට තිබෙන වාර්තාගත ඉතිහාසය ඉන්දියාවට නැහැ. අපේ මහාවංශය වගේම අලිඛිත ඉතිහාසය ගවේෂණය කරමින් තමයි ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳ දේශපාලන විචාරකයන් අර්ථකතන ලබාදෙන්නේ. එසේ වුවද ඉතිහාසයට සම්ප්‍රදායක් තිබෙනවා. එම ඉතිහාසය අප පවත්වාගත යුතුයි. එය අපට ඉතා වැදගත්. එසේම ඒ ඉතිහාසය ආරක්ෂා කිරිමට අප කටයුතු කළ යුතුයි. ඉතිහාසය ගවේෂණය කරමින් ඉතිහාසය අනාගතය වෙනුවෙන් සුරක්ෂිත කිරිමට රාජකීය ආසියාතික සංගමය ගන්නා උත්සාහය අගය කළ යුතු ක්‍රියාවක්.මම රාජකීය ආසියාතික සංගමයේ ඇතැම් සඟරාවල මුල්පිටපත් කියවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රචකයෙක් වූ ජේම්ස් ද අල්විස් වැන්නන් මෙන්ම, රාමනාදන් සහ අරුණාචලම් වැනි විශිෂ්ට මහත්වරුන්ගේ ඡායාරූපත් විශාල සංඛ්‍යාවක් මෙහි තිබෙනවා. එය සැබැවින්ම වටිනා ක්‍රියාවක්.
ඉතින් මම පළමුවෙන්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතිහාස සඳහා වන ආයතනයක් ආරම්භ කිරීමයි. මේ ධුර කාලය අවසන් වීමට පෙර ඒ පිළිබඳ සාකච්ඡා කර, තීරණයක් ගත යුතුයි. ඒ සඳහා අපි විශ්වවිද්‍යාල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ රාජකීය ආසියාතික සංගමය සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය අවසන් කෙටුම්පතක් සූදානම් කරමින් සිටිනවා. ඉතිහාසය සඳහා වන ආයතනය හරහා තමයි ඉදිරියේදී අපි මෙම ක්ෂේත්‍රයේ වැඩකටයුතු සඳහා අරමුදල් සහ රජයේ ආධාර ලබා දීමට කටයුතු කරන්නේ.
පළමුවෙන්ම, පුස්තකාලවල තත්ත්වය සොයා බලා ආරක්ෂා කරන්න අවශ්‍යයි. ඒ වගේම රාජකීය ආසියාතික සංගමයේ පුස්තකාල පිළිබඳ සොයා බැලිය යුතුයි. කෞතුකාගාරය හා ජාතික ලේඛනාරක්ෂන දෙපාරත්තමෙන්තුව පිළිබඳවත් සොයා බැලිය යුතුයි. මහජන පුස්තකාලව වල තිබෙන ලේඛන පිළිබඳ සොයා බලන්න අවශ්‍යයි. මොකද මගේ සීයා විසින් ෆර්ගියූසන් ලේඛණ එකතුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලබාදුන්නා.
ඒ වගේම ඔබේසේකරලා තවත් එකතුවකුත් විශ්වවිද්‍යාලවලට ලබාදී තිබෙනවා. මේ හැම එකක්ම එකතු කරගත යුතුයි. ඒ වගේම විශ්වවිද්‍යාල බොහෝමයක ප්‍රකාශයට පත් නොකළ උපාධි නිබන්ධන තිබෙනවා. අපි ඒ සියල්ලත් එකතු කරන්න අවශ්‍යයි. එවැනි බොහොමයක් ඉතිහාස වැඩසටහන් අපට කරන්න තිබෙනවා. මට හිතෙන්නේ මේ සඳහා ආයෝජන ව්‍යාපෘති අවශ්‍ය වෙනවා.
විශ්වවිද්‍යාලය වේවා, රාජකීය ආසියාතික සංගමය හෝ වේවා කුමන ව්‍යාපෘතියද ඉදිරියට ගෙන යන්නේ කියලා ඔබ තීරණය කළ යුතුයි.
අපට තව එක් ගැටළුවක් විසඳන්න තිබෙනවා. ඒ පශ්චාත් පුරාවිද්‍යා ආයතනය ගැටලු විසඳීමට ඊට මුදල් ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව කෙටුම්පතක් සම්පාදනය කිරීමට කෙටුම්පත් සම්පාදකට යොමු කර තිබෙනවා.එහි අවසාන පිටපත පැමිණි පසු අපි නීත්‍යානුකූලව ඒ ගැන සාකච්ඡා කර කමිටුවක් පත් කරනවා. මේ කමිටුව මඟින් පශ්චාත් පුරා විද්‍යා ආයතනය පිළිබඳ ඉදිරි තීරණ ගත හැකියි. මෙම තීරණය මඟින් ඉතිහාසය පිළිබඳ අධ්‍යනය කරන්න බොහෝ දෙනක් යොමු කිරීමට හැකි වෙයි කියා මා හිතනවා.
මේ වන විට බොහෝ අය ඉතිහාසය හදාරන්නෙ නෑ. ඒ වගේම දැන් ඉතිහාසය වෙනස්. වෙනස් වූ විවිධ සංස්කරණ තියෙනවා. ඒ හැමටම වඩා නරකම දේ පුරාවිද්‍යාව තමන්ගේම ගමනක් ගොස් තිබීමයි. එබැවින් අපි ඔවුන්ව ආපසු හරි මගට ගෙන ඉතිහාසයට ප්‍රමුඛතාව ලබාදී වැඩ කිරීමට සැලැස්වීමට අවශ්‍යයි.
එසේම මේ සම්බන්ධව තවත් වැඩ රාජකාරී බෙහොමයක් සිදු කරන්න තිබෙනවා. ඔබලාගේ පුස්තකාලයේ ප්‍රධානතම අඩුපාඩුවක්ව පවතින වායුසමීකරණය ප්‍රතිසංස්කරණ කිරිමට අවශ්‍යයි. ඊට අවශ්‍ය මුදල් රජය මඟින් ලබාදෙනවා. ඉන් පසුව පසුගිය වසරවල කොවිඩ් වසංගතය හේතුවෙන් නතර කර තිබූ සම්මන්ත්‍රණ ඉදිරියට ක්‍රියාත්මක කරන්න. මේ පිළිබඳව ගොඩනැගෙන නව කතිකාවත් මඟින් ආයෝජන අවස්ථා සලසා ගත හැකියි. අපටත් ඒ සඳහා උදව් කළ හැකියි.
නිසැකවම පුස්තකාල සම්බන්ධයෙන් ගත් කල, පොත් සංරක්ෂණය සඳහා මුදල් ලබා දෙනවා. ඉන් පසුව අපි අපගේ අරමුදල් ඉතිහාසය පිළිබඳ ආයතනයේ කටයුතු සදහා යොදා ගන්නවා. එය ඔබ ආයතනය සමඟ තරග කරන ආයතනයක් නොවෙයි. එම ආයතනය ජාතික කෞතුකාගාරය ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික ත්‍රිකෝණය, විශ්වවිද්‍යාල සහ රාජකීය ආසියාතික සංගමය සමඟ එකට එකතුවී ක්‍රියා කරනු ඇතියි.
මේ සියලු ආයතන එක් කරගත් කේන්ද්‍රස්ථානයක් හරහා ආයතන අතර ඇති කරගන්නා අන්තර් ක්‍රියාවලිය මගින් තවදුරටත් මේ විෂය සම්බන්ධ දැනුමෙන් පොහොසත් විය හැකි බව මම විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන පමණක් නොවෙයි. සංස්කෘතිය ගැනත් අවධානය යොමු කළ යුතුයි. ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳ සොයා බැලීම් සිදු කරන්නේ කෙසේද? එම කරුණු සම්බන්ධ අතීතය කොතැනද යන්න සොයා ගැනීමට මෙහිදී හැකියාව තිබෙනවා.
අවසාන වශයෙන්, මෙමඟින් මේ උප මහාද්වීපයේ ඉතිහාසයේ වාර්තා වී ඇති ගැටලුකාරී තොරතුරු ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා විසඳුමකට ඒමට හැකියාව තිබෙනවා. තවද, මෙම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමේ දී බාධා මතුව තිබේ නම් ඔබට අවශ්‍ය සහය බෞද්ධ කටයුතු අමාත්‍යාංශයෙන් ලබා දීමට කටයුතු කරනවා.
රාජකීය ආසියාතික සංගමයේ සභාපති ආචාර්ය මලනි ඩයස්, හිටපු සභාපති වාස්තු විද්‍යාඥ ඈෂ්ලි ඩී වොස් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.