මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුකුළු මස් හා බිත්තර කර්මාන්තය ආශ්‍රිත ගැටලු කඩිනමින් නිරාකරණයට රජයේ අවධානය

    අප්‍රේල් 27, 2023

    කුකුළු ආහාර නිෂ්පාදනය සඳහා යොදාගත යුතු බඩඉරිඟු ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    කුකුළු මස් හා බිත්තර කර්මාන්තය විධිමත්ව පවත්වාගෙන යමින් රටේ කුකුළු මස් හා බිත්තර අවශ්‍යතාව අඛණ්ඩව සපුරාලීම හා එම නිෂ්පාදන සාධාරණ මිලකට පාරිභෝගිකයා අතට පත් කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

    එමෙන්ම සත්ව ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟුවලින් මේ වන විට දේශීයව නිෂ්පාදනය කර ඇති ප්‍රමාණයත්, ඉදිරියේදී නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ප්‍රමාණයත් ගණනය කර ආනයනය කිරීමට අත්‍යාවශ්‍ය බඩඉරිඟු ප්‍රමාණය සම්බන්ධ වාර්තාවක් සකස් කරන ලෙස සාගල රත්නායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.

    එම වාර්තාව කඩිනමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‍වෙත ඉදිරිපත් කරන බව ද ඒ මහතා පැවසීය.

    සත්ව ආහාර ලෙස යොදා ගන්නා බඩඉරිඟු නිෂ්පාදනය හා එහි මිල ගණන් සම්බන්ධව පවතින ගැටලු කෙරෙහි මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවයෙන් ආනයනය කළ යුතු ප්‍රමාණය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීම කඩිනම් කිරීමට පියවර ගන්නා ලෙස සාගල රත්නායක මහතා උපදෙස් ලබා දුන්නේය.

    ලෝක වෙළඳපොළේ බඩඉරිඟු මිල පහළ ගොස් තිබෙන අවස්ථාවලදී ආනයනය කිරීමෙන් දේශීය බඩඉරිඟු අවශ්‍යතාවය අර්බුදයකින් තොරව සපුරාලිය හැකි බව ද මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

    දැනට පවතින සහල් අවශ්‍යතාවය ඉක්මවා දේශීය සහල් නිෂ්පාදනය සිදුව ඇති හෙයින් අතිරික්ත සහල්වලින් කොටසක් සත්ව ආහාර සඳහා යොදාගැනීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර සත්ව ආහාර සඳහා සහල් යොදාගැනීම කෙරෙහි රජය විසින් පනවා ඇති සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා විය.

    ඒ අනුව රටේ ජනතාවගේ සහල් පරිභෝජන අවශ්‍යතාවයත් මේ වන විට පවතින සහල් නිෂ්පාදනයත් නිවැරදිව ගණන් බලා පවතින අතිරික්ත සහල් තොග ගණනය කර කඩිනමින් වාර්තාවක් සකස් කරන ලෙස සාගල රත්නායක මහතා කෘෂිකර්ම හා වෙළෙඳ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

    අතිරික්ත සහල් තොග මේ සඳහා යොදා ගැනීමෙන් වී ගොවියාගේ වී මිල අඩු නොවී ස්ථාවරව පවත්වා ගෙන යාමටත්, සත්ව ආහාර සඳහා ආනයනය කළ යුතු බඩ ඉරිඟු අවශ්‍යතාවය අඩුකර ගැනීමට ඇති හැකියාවත් මෙහිදී පෙන්වා දුන් අතර එමඟින් බඩඉරිඟු ආනයනය සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි බව ද සාගල රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු රේඛීය ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු හා කුකුළු මස් හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම්වල නියෝජිතයෝ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya