2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා බදුකරණය හරහා රාජ්‍ය ආදායම් ඒකරාශී කිරීම වැදගත් වන බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, පර්යේෂණ වලින් සනාථ වී ඇති පරිදි බදු අනුපාතය තිරසාර සංවර්ධන ඉලක්ක සමඟ සම්බන්ධව ඇති බව ත්, නැඟී එන ආර්ථිකයන්හි තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා බදු ආදායම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබන බවත් පෙන්වා දුන්නේය.
බදුකරණය සහ තිරසාර සංවර්ධන ඉලක්ක අතර ඇති සම්බන්ධය අවබෝධ කර ගැනීම පහසු නොවන බැවින් ප්‍රතිපත්ති සම්පාදකයින් සහ බදු පරිපාලකයින් අතර මෙම සංකල්පය වඩාත් හොඳින් අවබෝධ කර ගැනීම වැදගත් වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
“අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය, ප්‍රධාන අවශ්‍යතා වැඩි දියුණු කිරීමට අපි සැලකිය යුතු ආයෝජනයක් කර තිබෙනවා. අපගේ නිදහස් සෞඛ්‍ය සහ අධ්‍යාපන ප්‍රතිපත්ති හේතුවෙන් සාක්ෂරතාවය, අධ්‍යාපන මට්ටම්, අඩු මාතෘ හා ළදරු මරණ පිළිබඳව ශ්‍රී ලංකාව වාර්තා තබා තිබෙනවා. විදුලිය සහ පානීය ජල සැපයුමෙහි සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. මේ සියලු සුබසාධන පහසුකම් සඳහා මුදල් යෙදවිය යුතු වනවා. මේ සඳහා ප්‍රධාන මූලාශ්‍රය බදු අයකිරීම බව පැහැදිලි කරුණක්.
ශ්‍රී ලංකාව මේ වන විට පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටිනවා. ණය හිමියන්, IMF සංවිධානය, ලෝක බැංකුව සහ අනෙකුත් සංවර්ධන හවුල්කරුවන් ඇතුළුව ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය ඇතිව අපි මේ වන විට මෙම අභියෝගය කළමණාකරණය කරමින් සිටිනවා. පසුගිය මාසයේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන IMF සංවිධානය අනුමත කිරීමත් සමග එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය යථාතත්වයට පත්වෙමින් තිබෙනවා.
සැලකිය යුතු කාලයක් පුරා පැවති රාජ්‍ය මූල්‍ය අසමතුලිතතාවයන් රටේ දැනට පවතින දරුණු ආර්ථික තත්ත්වයන්ට බලපා තිබෙනවා. අඩු රාජ්‍ය ආදායම සහ ඉහළ පුනරාවර්තන වියදම් දශක කිහිපයක් පුරා අයවැය හිඟයකට හේතු වී තිබෙනවා. මෙය තිරසාර නොවන මට්ටම් කරා ළඟා වී ඇති රාජ්‍ය ණය ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා. මීට අමතරව, 2019 අග භාගයේ බදු අඩු කිරීම්, ආදායම තවදුරටත් අහිමි වීමට බලපෑ බව පැහැදිලී.”
අතීත වැරදි සහ උගත් පාඩම් නිසි ලෙස හඳුනා ගනිමින්, ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට ද ඇතුලත්ව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් සිදුකිරීමට කැපවී සිටින බවත්, ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ප්‍රතිසංස්කරණ වැඩසටහන හේතුවෙන් බදු පද්ධතිය වඩාත් ශක්තිමත් වෙමින් තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.