මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ රෝහල්වල ප්‍රතිකාර සඳහා ඉලක්කගත වැඩපිළිවෙළක් - සෞඛ්‍ය අමාත්‍ය

    පෙබරවාරි 18, 2023

     

     

    ප්‍රතිකාර සඳහා පෞද්ගලික අංශය වෙත යොමුව ඇති ජනතාවගෙන් 30% ක පමණ පිරිසක් ඉදිරියේ දී එම ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතිවිය හැකි බැවින් ඒ සඳහා වන ඉලක්කගත වැඩපිළිවෙළක් කෙරෙහි මේ වන විටත් අවධානය යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    මේ වන විටත් පෞද්ගලික ප්‍රතිකාර සඳහා යොමුව ඇති ඉහළ මධ්‍යම පාන්තිකයින් බොහෝ පිරිසක් පවතින තත්වයන් හමුවේ ප්‍රතිකාර සඳහා රජයේ රෝහල් කරා යොමු වන බවත් මේ තුළ ඖෂධ ,වෛද්‍ය උපකරණ ඇතුළු රජයේ සෞඛ්‍ය සේවා සඳහා ඉහළ ඉල්ලුමක් ඇති ව තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය කෙරෙහි වන උපායමාර්ගික සැලැස්මක් වෙනුවෙන් වන විශේෂ හමුවකදී අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය. සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී අමාත්‍ය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් (16) පැවැත්විණි.

    පෞද්ගලික අංශයේ ප්‍රතිකාර සඳහා යොමුව සිටින පිරිස් රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණීම ඉලක්ක කර ගනිමින් රජයේ රෝහල් පද්ධතිය තුළ වඩාත් ඉහල පහසුකම් වලින් සමන්විත ගෙවන වාට්ටු සාධාරණ මිලට ආරම්භ කිරීමට ඉලක්ක කරන බවත් විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රය ඉලක්ක කර ගනිමින් ද එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දෙයි. දැනටමත් ආයෝජකයින් සිව් දෙනෙකු ඒ සඳහා එකඟ වී ඇති බව ද ඒ වෙනුවෙන් ඇඳන් 100 ක් ඒ සඳහා එක් කිරීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා පැවැසීය.

    මේ අතර රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළ යටතේ ආරම්භ කරන ඔයාමඩුව ඖෂධ කර්මාන්තපුරය හරහා 40% ක පමණ ඖෂධ අවශ්‍යතාවක් ආවරණය කරගැනීමට හැකි වෙනු ඇතැයිද එවැනි ආයෝජකයන් සඳහා තවදුරටත් රට තුළ අවකාශය සැකසීමට හැකි යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය .

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා.

    රට තුළ පවතින මෙම අභියෝගාත්මක අවස්ථාවේ එක් පවුලක් ලෙස සියල්ලන්ම මේ මොහොතේ දී කටයුතු කළ යුතුයි. සැවොම එකම අරමුණකින් කටයුතු කළ යුතුයි. විශේෂයෙන් දැඩිව බැට කෑ ජාතියක් ලෙස අප නැවත නැගී සිටිය යුතුයි. බොහෝ අසීරු අමාරු තීන්දු තීරණ ගැනීමට සිදුවේ. හැබැයි මා විශ්වාස කරනවා අසීරු අමාරු තීන්දු තීරණ හොඳ කාලයක් හා හොඳ අවස්ථාවක් නිර්මාණය කරනවා කියන එක.

     

    අප හට ඕනෑම දෙයකට නිශ්චිත සැලැස්මක් තිබීම අවශ්‍යයි. අවශ්‍ය සම්පත් දැනුම අපට තිබෙනවා. වෙනස් වීම අසීරු දෙයක්. නැගී සිටීමට අප තවමත් ප්‍රමාද නැහැ. සෞඛ්‍ය ක්ෂේත්‍රය සැලකූ කල දිගු කාලීන, මධ්‍ය කාලීන විසඳුම්, මංපෙත් අප සොයමින් සිටිනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වන වැඩපිළිවෙළ වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවුලේ සාමාජිකයෙක් ලෙස අපට සහයෝගය ලබා දෙනවා.

    ඖෂධ නිෂ්පාදනය සඳහා වන උපකරණ ගෙන්වීමේදී බදු නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී 40% - 60% දක්වා ඖෂධ නිෂ්පාදනය රට තුළ ඇති කිරීමෙන් 2025 වන විට එහි ඉලක්ක රැසක් සපුරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය සහය රජයක් ලෙස උපරිමයෙන් ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

    ඖෂධ නිෂ්පාදනය සඳහා වන යෝජනා හා ගැටලු රැසක් මෙහි දී සාකච්ඡා කෙරුණු අතර ඉදිරි මාසය තුළ යළි මෙහි ප්‍රගතිය සඳහා වන සමාලෝචන රැස්වීමක් පැවැත්වීමට මෙහිදී තීරණයවිය.

    මෙම අවස්ථාව සඳහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.නයීමුදීන්, , අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) මාලනී බද්දේගම, ඔයාමඩුව සුවසිරිපුර ඖෂධ නිෂ්පාදන කර්මාන්තපුරයේ ආයෝජකයින් කිහිපදෙනෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya