මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ආර්ථික බංකොලොත්භාවය අනාගත පරපුරට උරුම කර නොදීමට අපි සැවොම එක්ව වගකීමෙන් වැඩ කරමු- අමාත්‍ය රොෂාන් රණසිංහ   

    සැප්තැම්බර් 18, 2022

    වගා ආර්ථිකයට,නිෂ්පාදන ආර්ථිකයකට නොගොස් සහනාධාර පදනම් කොට අතීතයේ කටයුතු කළ නිසාවෙන් අද මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයට හේතු වූ බවත්, එයින් මිදීමටනම්  මේ මොහොතේ සිටවත් අපි වගා කටයුතු, නිෂ්පාදන කටයුතු ආරම්භ කළ යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසූවේ මහවැලි බී කලාපයේ, ඇල්ලේවැව කොට්ඨාශයේ ජනපදවාසීන් හමුවී ඔවුන්ගේ ඉදිරි ගොවිතැන් කටයුතු, ඉඩම් ගැටලු  හා අනෙකුත් යටිතල පහසුකම් සැපයීම සම්බන්ධව සාකච්ඡාවක් (11) දින ඇල්ලවැව මහවැලි කලාප කාර්යාලයේ දී පැවැති අවස්ථාවේදීය.

    එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.

    ඇල්ලෙවැව කොට්ඨාශයේ ඉදිරි කටයුතු සිදු කළ යුතු ආකාරය ඔබ සමග සාකච්ඡා කිරීමයි අපේ මෙම හමුවේ අරමුණ.

    මහවැලිය සම්බන්ධව හොඳ අදහස් වගේම විවේචනත් තිබෙනවා. එය ස්වභාවිකයි. කොපමණ හොඳ කලත් යම් සුළු කොට්ඨාසයක් සිටිනවා ඔවුන් දන්නෙ විවේචනය කිරීම පමණයි. පෘථිවියේ කටයුතු පමණක් නොව අඟහරු ලෝකෙන් ගෙනැත් දුන්නත් ඔවුන් සතුටු කරන්න බැහැ.

    නමුත් අපේ සමාජයේ සිටිනවා කළගුණ අමතක නොකරන, එදිනෙදා ජීවිතයේදී පැන නගින ගැටලු සඳහා පිළිතුරු සොයන බොහෝ පිරිසක්. අපි ඔවුන්ගේ ගැටලු විසඳන්න සියලු උත්සාහයන් දරනවා. ඒ ගැටලු සදහා විසඳුම් දීමෙන් අනතුරුව බොහෝ විවේචන අඩුවේවි.

    ජනතා නියෝජිතයෙක් ලෙස මාගේ වගකීම ඉටු කරන්න මම උපරිමයෙන් කැප වී වෙහෙස මහන්සි වෙනවා. අපටත් වසර පහකට සැරයක් ජනතාව වෙත් ගොස් කැමැත්ත විමසන්න අවස්ථාව ලැබෙනවා. මාගේ සේවය, යුතුකම් ඉටු වෙලානම් ඔබ මා තවදුරටත් විස්වාශයෙන් තබා ගනීවී. 

    ලිපිගොනු කොළඹ යවා ඒවා අනුමත වී මාස ගණන් පිළිතුරු ලැබෙනකල් සිටින ක්‍රමය අවසන් කර අමාත්‍යාංශය ගමට ගෙන ඒමේ වැඩපිළිවෙළ මම ආරම්භ කළා. අමාත්‍යංශ ලේකම්,අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු අදාල බලයලත් නිලධාරීන් සියල්ල ගමට කැඳවා ගමේ දීම ගැටලු සාකච්ඡා කර ඒවාට විසඳුම් ලබාදී ජනජීවිතයට වඩාත් හොඳ ක්‍රමවේදයක් ලබා දීම සම්බන්ධව මම සතුටු වෙනවා.

    රක්ෂිතවල ඉඩම් ඉල්ලන්න එපා. ඇළ දෙපස මීටර් 100 ක දුරක් තබා වගා කටයුතු සදහා ඉඩම් භාවිතා කිරීම පනතෙහිම සඳහන්. සියලු ජනපද වාසීන් ගේ අවශ්‍යතාවයට භාවිතයට ගැලපෙන පරිදි සැකසූ පනතට එරෙහිව කටයුතු කරන්න මට අයිතියක් නැහැ. මෙයින් පෙර පැමිණි ඇමතිලා එලෙස ඉඩම් ලබා දුන්නා කියා මගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්න එපා. 

    ඒ වගේම පවුල් ආරවුල් විසඳන්නත් මේ නිලධාරීන්ට නොහැකියි. මේ කරුණු හැරුණු කොට මා වෙත ඉදිරිපත් කරන සාධාරණ ඉල්ලීම් මසක් ඇතුළත විසඳීමට මා කටයුතු කරනවා. ඉටු කළ නොහැකි ඉල්ලීම් මම මේ මොහොතේ දීම ප්‍රතික්ෂේප කරනවා.

    මම මහවැලි කලාපයේ සංචාරය කරන අතරතුර උඩවලව කලාපයේ ඇළවේලි ඉතා ලස්සනට පවත්වාගෙන යාම නිරීක්ෂණය වුණා. මම වාහනයෙන් බැස ඒ පිළිබඳව විමසා සිටියා. එම කලාපයේ ගොවි මහතුන්, ගොවි සමිති හරහා ඇළවේලි ඉතා  පිළිවෙළට නඩත්තු කරන් යන බව මට දැනගන්න ලැබුණා. ඔවුන් ජලය ඉතා හොඳින් කළමනාකරණය කර අක්කර අඩි තුනහමාරකින් පමණ ඔවුන්ගේ සියලු ජල අවශ්‍යතා සපුරා ගන්නා බව එහි නිලධාරීන් පවසා සිටියා.

    සෑම ගොඩ ඉඩමක්ම ඔවුන් වගා කරලා. ඒ නිසාම ආර්ථික මට්ටම ඉතා ඉහළයි. මෙම කලාපවල වගේම වන සතුන්ගේ උවදුරු ඔවුන්ට ද තිබෙනවා.නමුත් ඔවුන් ඒ සඳහා උපක්‍රම භාවිතා කර කෙසේ හෝ තමන්ගේ ඉලක්කයන් ජයගෙන තිබෙනවා. ඔබට බොහෝ දක්ෂ නේවාසික ව්‍යාපාර කළමනාකරුවෙකු මා ලබාදී තිබෙනවා.ඔහු හා නිලධාරීන් සමඟ එකතු වී ඔබේ කොට්ඨාශය, ඔබේ කලාපය සංවර්ධනය කර ගන්න. ඒ සඳහා අවශ්‍ය සියලු උදව් උපකාර ලබාදෙන්න මම කටයුතු කරනවා. 

    ඉතිහාසයේ කවරදාවත් නොවූ ලෙස ආර්ථික වශයෙන් අපි වැටී තිබෙනවා. අපට නැගි සිටින්න තිබෙන හොඳම අවස්ථාව මෙයයි. මේ සඳහා අපි කොට්ඨාස තුනක් සක්‍රියව දායක විය යුතුයි.දේශපාලඥයන්, නිලධාරීන් හා ජනතාව කැපවී වැඩකළ යුතුයි. මෙම අංශ තුළ එකතු ව මේ මොහොතේ රට ගොඩගැනීමට නොහැකි වුවහොත් වර්තමානයේ කෙසේ වෙතත් අපේ අනාගත පරම්පරාවට බොහෝ දුක් කම්කටොලු වලට මුහුණ පෑමට සිදු වීම වැළැක්විය නොහැකියි.

    වසර 70ක්ම රට පාලනය කළ දේශපාලනඥයින්,නිලධාරීන් හා ජනතාව කළ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල තමයි අද අපිට භුක්ති විඳින්න වෙලා තිබෙන්නේ. නිසි කළමනාකරණයකින් නොවුනු ණය ගැනීම්,අවිධිමත් සංවර්ධන ක්‍රියා,සහනාධාර මේ තත්ත්වයට හේතු වූවා. 1950 ඩොලර් මිලියන 50 ක් ලෙස ගත් ණය මුදල අද වන විට ඩොලර් බිලියන ගණනක් දක්වා වර්ධනය වෙලා. 

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔවුන් පෙන්වා දෙන අඩුපාඩු සකස් කරමින් ඉදිරියට නොගියහොත් අපේ අනාගත පරම්පරාවට ජීවත් වෙන්න රටක් ඉතුරු වෙයිද. අද රජයේ සේවයේ එක නිලධාරියෙක් අවශ්‍ය තැනට නිලධාරීන් දහ දෙනෙක් පත් කරලා. සියලු දෙනාගේ වැටුප් ගෙවීමට ඔබ දායක විය යුතුයි. එසේනම් අපි කළමනාකරණය කරගත යුතු නොවේද. 

    රජයේ රැකියා බලාපොරොත්තුවෙන් නොයිද ව්‍යවසායකයෙක්, කෘෂි නිෂ්පාදකයෙක්, විදෙස් විනිමය උපයන්නෙකු ලෙස කටයුතු කර අපට අපේ ඉලක්ක සපුරා ගත හැකියි. මෙම මහවැලි කලාපයේ වගා ඉඩම්, වානිජ ඉඩම් ලබාගෙන වගා කරන්න.ව්‍යාපාර කරන්න ඔබට පුලුවන. එම ඉඩම් හිස්ව තබන එක ජාතික ආර්ථිකයට හානියක්. සමහර සමාගම් ඉඩම් ලබාගෙන වගා නොකර බදු පමණක් ගෙවෙමින් සිටිනවා. 

    මෙම සාකච්ඡාවේ දී දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක  රංජිත් කහගල්ල මහතා දැක්වූ අදහස්.

    මහවැලි කලාපය හුදකලා නගරයක් ව තිබූ කහගල්ල කොට්ඨාශයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රොෂාන් රණසිංහ අමාත්‍යවරයා මීට පෙර පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යධූරය හොබවන අවස්ථාවේදී විශාල මෙහෙයක් සිදු කළා. ඇලඇල්ලෙවැව  නගරය දියුණු කරන්න සංවර්ධන සැලැස්මක් හැදුවා. එතුමාගේ "අනාගත පොළොන්නරුව" සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එම සංවර්ධන කටයුතු ඉටු කළා.

    ඒ අනුව ප්‍රාදේශීය රෝහල අංග අංගසම්පූර්ණ රෝහලක් කළා. ඇල්ලෙවැව මහා විද්‍යාලයේ සංවර්ධනය කළා. මාර්ග සංවර්ධන‍ය සදහා ලක්ෂ 225 ක් ප්‍රතිපාදන ලබා දුන්නා. නගරයේ වීදි ආලෝකකරණය කළා. සති පොළ භූමිය සංවර්ධනට ලක්ෂ 300ක් වෙන්කළා. ඇල්ලෙවැව නගරය මෙලෙස අංගසම්පූර්ණ නගරයක් බවට පත්කිරීමට බොහෝ පරිශ්‍රමයක් දරා කටයුතු කළා. දැන් හොබවන අමාත්‍යධූර මගින්ද එතුමා මෙම කොට්ටාශයට බොහෝ වැඩකටයුතු ඉටු කිරීමට කටයුතු කරගෙන යනවා.

    මෙම සාකච්ඡාවට පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා, දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක රංජිත් කහගල්ල මහතා, මහවැලි බී කලාපය නේවාසික ව්‍යාපාර කළමනාකරු ඉන්දික රණවීර මහතා ඇතුළු කොට්ඨාශ කළමනාකරුවන් හා ඇල්ලෙවැව කොට්ටාශය සමග කටයුතු කරන සෙසු රාජ්‍ය ආයතන වල කලාප නිලධාරීහු ද සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya