මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එතනෝල් ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංවාදයට

    ජූනි 16, 2022

    මෙරට භාවිතය සඳහා ආනයනය කරන එතනෝල් ප්‍රමාණය පිළිබඳව සහ ආනයනය කරනු ලබන ආයතන පිළිබඳව නිසි පරිදි නියාමනයක් සිදු නොවීම පිළිබඳව පසුගියදා (08) පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විය.

    විවිධ සමාගම් සඳහා මෙරටට එතනෝල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය, එම එක් එක් සමාගම් පිළිබඳ තොරතුරු, එම සමාගම් ආනයනය කරනු ලබන එතනෝල් ප්‍රමාණය පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් දෙසතියක් තුළ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තු නිලධාරින් වෙත දන්වා සි‍ටින ලදි. එමෙන්ම, මත්පැන් නිෂ්පාදනය හැරුණු විට ඖෂධ ඇතුළු වෙනත් නිෂ්පාදන සඳහා එතනෝල් ආනයනය කර ඇති ප්‍රමාණය සහ නිසි පරිදි එම එතනෝල් එකී නිෂ්පාදන සඳහා පමණක් භාවිත කරන්නේද යන්න පිළිබඳවද අවධානය යොමු කරන ලෙස අවධාරණය කරන ලදි.

    තවද, ශ්‍රි ලංකාවට වාහන සහ වාහන අමතර කොටස් ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව කාරක සභාව විසින් විමසා සිටි අතර, ඒ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව නිසි ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මින් පෙරද උපදෙස් ලබා දී තිබුණද, ඊට අදාළ ක්‍රියාමාර්ග ගෙන නොතිබීම පිළිබඳව කාරක සභාවේ අප්‍රසාදය පළවිණ. මීට අමතරව ඊට අදාළ කටයුතු සකස් කර වඩා කාර්යක්ෂම හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට සුදුසු ක්‍රමවේදයක් සකසා මාස 04 කාලයක් ඇතුළත කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටින ලදී.

    ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ ක‍ටයුතු පවත්වාගෙන යාමට නිසි ප්‍රමිතියකින් යුතු පරිගණක පද්ධතියක් නොමැති වීම පිළිබඳවද කාරක සභාවේ විශේෂ අවධානයට ලක්විණි. දෙපාර්තමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාමේදී, සුරාබදු දෙපාර්තමේන්තුව, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා රේගුව ආදී සෘජුවම සම්බන්ධ වන ආයතන සමඟ මනා සම්බන්ධීකරණයක් නොමැති වීම ඉතාමත් ගැටලුසහගත බව කාරක සභාව විසින් පෙන්වා දුන් අතර, පරිගණක ජාලගතකරණය වහා සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දෙන ලදී.

    ඒ සඳහා, ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව වැනි ආයතන සමග සහසම්බන්ධ වීමේ වැදගත්කමද අවධාරණය කෙරිණි. මෙම කාරණය පිළිබඳව 2016 වර්ෂයේදීද ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැනුවත් කර තිබුණද මේ දක්වා එම කාර්යය සිදු නොවීම පිළිබඳව කාරක සභාව අප්‍රසාදය පළ කළ අතර, මෙහි ඇති වැදගත්කම සලකා එහි ප්‍රගතිය පිළිබඳව විමර්ශනය සඳහා අනුකමිටුවක් පත් කිරීමටද කාරක සභා සභාපතිවරයා විසින් තිරණය කරන ලදී.

    තවද, ත්‍යාග ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන වාහන පසුකාලීනව විවිධ පාර්ශ්ව වෙත පැවරීම පිළිබඳවද මෙහිදි අවධානයට ලක්විණි. ඒ අනුව, ත්‍යාග ක්‍රමයට වාහන ආනයනය කිරීමෙන් පසු එම වාහන වෙනත් පාර්ශ්ව වෙත ලබා දීම පිළිබඳව පැමිණ සිටි නිලධාරින්ගෙන් විමසා සි‍ටින ලදි. බදු සහන පදනමක් මත එසේ ගෙන්වන වාහන වසර 05ක් ගත වනතුරු වෙනත් පාර්ශවයක් වෙත පැවරීම සිදු කළ නොහැකි බව එම නිලධාරිහු කාරක සභාවට දැන්වූ අතර, වසර 05 කින් පසු එසේ පැවරීම් සිදු කිරීමකදි වුවද අදාළ වාහන සඳහා පවතින සාමාන්‍ය බදු අගයම අය කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකසා ඇති බව ප්‍රකාශ කළහ.

    එමෙන්ම, ත්‍යාග ක්‍රමය යටතේ ගෙන්වන වාහන සඳහා බලපත්‍ර නිකුත් කිරීමෙන් පසුව නිසි පරිදි පසුවිපරමකට ලක් කිරීම හා නියාමනයේ වැදගත්කම කාරක සභාව විසින් අවධාරණය කෙරිණි.
    2015 සැප්තැම්බර් 21 දිනැති අංක 1933/13 දරන ගැසට් පත්‍රයේ ප්‍රතිපාදනවලට,බලපත්‍ර පාලනයට යටත් කරන ලද වාහන සඳහා වන ගැසට් නිවේදනවල‍ට හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ

    අමාත්‍යාංශයේ අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා විසින් ආනයන අපනයන පාලකවරයා වෙත දෙන ලද උපදෙස්වලට පරිබාහිරව 2017 වර්ෂ‍යේ පාවිච්චි කළ මෝටර් කාර් රථ 33 ක් වැරදි රේගු සංයෝජිත වර්ගීකරණය අංකනය හේතුවෙන් රු.මිලි. 114.6 ක රේගු බදු අහිමි වීම පිළිබඳව කාරක සභාව විසින් විමසන ලදි. ඒ අනුව ඒ පිළිබඳ පූර්ණ පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බව දන්වන ලදි. එහි ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් සති02 ක් තුළ කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද කාරක සභා සභාපතිවරයා දැන්වීය.

    එමෙන්ම, සීනී කිලෝග්‍රෑමයක් සඳහා පනවා තිබුණු විශේෂ භාණ්ඩ බදු රු.50 සිට ශත. 25ක් දක්වා අඩු කිරීම මඟින් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට නොලැබීම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව පිළිබඳවද පසුගියදා කාරක සභාව තුළ සංවාදයට ලක්විණි. සීනි ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම හා සීනී ආනයනය පාලනය කිරීමට අවශ්‍ය නිර්ණායක හඳුන්වාදීමට කටයුතු නොකිරීම, බලපත්‍ර නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් රජයට සිදු වූ පාඩුව පිළිබඳව මෙම මස 21 වන දින කාරක සභාවේදි සංවාදයට ගැනීම නියමිත බවද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරිණි.

    මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති මෙම කාරක සභාවට මන්ත්‍රිවරයන් වන  ලසන්ත අලගියවන්න, තිස්ස අත්තනායක ,  දුමින්ද දිසානායක,  උදය ගම්මන්පිල,  සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ,මොහොමඩ් මුසම්මිල්, නිරෝෂන් පෙරේරා, අශෝක් අබේසිංහ හේෂා විතානගේ, සිවඥානම් ශ්‍රිතරන්, වීරසුමන වීරසිංහ, රංජිත් බණ්ඩාර,  බී.වයි.ජී රත්නසේකර,  උපුල් ගලප්පත්ති යන මහත්ම මහත්මීහුද, රාජ්‍ය නිලධාරින්ද සහභාගි වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya