මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    24 වන යුද්ධ හමුදාධිපති සිය ධූරයෙහි රාජකාරී අරඹයි

    ජූනි 02, 2022

    ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ බදාදා (1) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී 24 වන යුද්ධ හමුදාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

    යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා මූලස්ථාන බලසේනාවේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ඉන්දික පෙරේරා විසින් පිළිගැනීමෙන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ.

    සරඹ භූමිය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන්ව, යුද්ධ හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් විශේෂ පිඨිකාව වෙත කැටුව යන ලදි.

    උත්සවයේ මීළඟ අදියර වශයෙන්, නිලධාරීන් 02 ක් සහ සෙසුනිලයින් 48 දෙනෙකුගෙන් සමන්විත වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියට අණදුන් ගජබා රෙජිමේන්තුවේ කපිතන් එස්. ආර්. වී. කේ. එස් බණ්ඩාර විසින් නව යුද්ධ හමුදාධිපතිතුමන්ට හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරාධනා කරනු ලැබීය.

    රෙජිමේන්තු ධජවලින් අලංකාරවත් වූ පසුබිමෙන් යුද්ධ හමුදා තූර්යවාදක කණ්ඩායමෙන් නැගුණු දේශානූරාගී ගී තනු මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපතිතුමන් පෙළපාලියේ අණදෙන නිලධාරී සමඟින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලදී.

    ඉන් අනතුරුව, යුද සේවා ලේකම් කාර්යාලය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන්ව ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. පසුව, යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන් බෞද්ධ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

    රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මහා සංඝරත්නය උදෙසා දැහැත් වට්ටියක් පූජා කර පංචසීලය සමාදන් වූ අතර, අනතුරුව මිරිසවැටිය විහාරාධිකාරි ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් විසින් නව යුද්ධ හමුදාධිපති ධූරයට පත්වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත ආශීර්වාද එක්කරමින් එම ධූරයට පත්වීම වෙනුවෙන් සුභපැතුම් ද එක්කළේය.

    මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබූහ. එම අවස්ථාව සඳහා එතුමන්ගේ භාර්යාව වන ජානකී ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

    ඉන් අනතුරුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගිමික පූජකවරුන්ගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මහා සංඝරත්නය වෙත ‘පිරිකර’ පූජාකරමින් කතෝලික, හින්දු හා ඉස්ලාම් පූජකවරුන් වෙත ත්‍යාග පිරිනමනු ලැබීය.

    මෙම සමාරම්භක උත්සවයේ ආගමික වතාවත් පැවැත්වීම සඳහා පූජ්‍ය මිරිසවැටිය විහාරාධිකාරි ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් සහ කතෝලික, හින්දු හා ඉස්ලාම් ආගමික පූජකවරුන් ද එක්වූහ.

    නව යුද්ධ හමුදාධිපතිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

    සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් 2022 ජුනි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ලුතිනන් ජෙනරල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව 24 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කරන ලදී.

    ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවනු ලැබීය. ධූරයෙන් නික්ම ගිය යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් පසුව යුද්ධ හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ද ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වේ.

    වර්ෂ 1986 ඔක්තෝබර් මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස එක්වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පාඨමාලා අංක 26 යටතේ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව හදාරන ලදී. පසුව, එතුමන් දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ගජබා රෙජිමේන්තුවට අනියුක්ත කරන ලදී.

    ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ වසර 35 ක ආදර්ශමත් යුද්ධ හමුදා දිවිය තුළ 4 වන ගජබා රෙජිමේන්තුවේ කණ්ඩභාර නිලධාරි, කණ්ඩායම් භාර නිලධාරි අණදෙන සහ විධායක අධිකාරි ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත. නැගෙනහිර ප්‍රදේශයේ සිදුකළ මානුෂීය මෙහෙයුමේදී එම ප්‍රදේශයෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරන ලදී.

    එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 21 සහ 55 වන පාබල සේනාංකයන්හි බුද්ධි නිලධාරි, 14 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විධායක අධිකාරි, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), 10 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II සහ 8 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වැනි තනතුරු ද හොබවා ඇත. එමෙන්ම, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය භටපිරිස් සමඟ එක්ව මන්නාරම ප්‍රදේශයේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති ප්‍රදේශ අත්පත්කරගැනීම වෙනුවෙන් සාර්ථකව මෙහෙයුම් දියත් කරන ලදී.

    මීට අමතරව, එතුමන් 225 සහ 553 වන පාබල බලසේනාවන්හී කාර්යයේ නියුතු බලසේනාධිපති, කලාප අණදෙන නිලධාරි සහ මෙහෙයුම් ආඥාපති කොළඹ, 215, 542, 224, 221 සහ 623 වන පාබල බලසේනාවන්හී බලසේනාධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ පුහුණු හා මූලධර්ම සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රියා හා සැලසුම්, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල්, 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වූෂු කමිටුවේ සභාපති වැනි තනතුරු ද හොබවා ඇත.

    ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය වසර ගණනාවක යුද්ධ හමුදා සේවා කාලය තුලදී විවිධ තනතුරු හොබවමින් ලද අත්දැකීම් සහ පුහුණුවෙන් පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර එතුමන්ගේ දීර්ඝ යුද්ධ හමුදා සේවා කාලය තුළ අභ්‍යන්තර ආරක්‍ෂක/ ප්‍රතිවිප්ලව යුද පාඨමාලාව - මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල, ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ ඉගැන්වීමේ ක්‍රමවේද පාඨමාලාව, ඉදිරි භූමි නිරීක්‍ෂණ නිලධාරී පාඨමාලාව - මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසල, බලඇණි ආධාරක අවි පාඨමාලාව - මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය, කණ්ඩභාර නිලධාරි පුනරීක්‍ෂණ පාඨමාලාව - මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල, කණ්ඩායම්භාර නිලධාරි අණදෙන්නන්ගේ පුනරීක්‍ෂණ පාඨමාලාව - යුද්ධ හමුදා මූලස්ථානය, ඒකක ආරක්‍ෂක නිලධාරී පාඨමාලාව - යුද්ධ හමුදා බුද්ධි බළකාය, කළමනාකරණ සහ නායකත්ව සංවර්ධන පාඨමාලාව - ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, මූලික සමථ නිපුණතා සහ ක්‍රියාවලිය (UNHCR) - 21 වන සේනාංකය, බහුවිධ කණ්ඩායම් පුහුණු අභ්‍යාස - 3 කුකුලේගඟ යන පාඨමාලාවන් සාර්ථකව හදාරා ඇත.

    එමෙන්ම, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දේශීය මෙන්ම විදේශීය පාඨමාලාවන් ද රැසක් හදාරා ඇත. ඒ අනුව, නිලධාරී ශාරීරික පුහුණු පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව - බංගලාදේශය සහ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව වැනි විදේශීය පාඨමාලා හදාරා ඇති එතුමන් උසස් ආරක්‍ෂක සහයෝගීතා වැඩසටහන - හවායි සහ ඉන්දුනීසියාවේ ලෙම්හන්නාස්හී (Lemhannas) ජාතික ආයතනය මඟින් පවත්වනු ලබන නිත්‍ය අධ්‍යාපන වැඩසටහන සඳහා ද සහභාගී වී ඇත.

    එමෙන්ම, ඉන්දුනීසියාවේ ලෙම්හන්නාස් (Lemhannas) විශ්වවිද්‍යාලයෙන් උපායමාර්ගික සහ මනා කළමණාකරන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් මෙන්ම හවායි පිහිටි ආරක්‍ෂක අධ්‍යයනය සඳහා වන ආසියා පැසිෆික් මධ්‍යස්ථානයෙන් ‘ඉන්දු-පැසිෆික් කලාපයේ ගෝලීය ආරක්‍ෂාව’ පිළිබඳ උපාධියක්ද එතුමන් සතු වේ. මීට අමතරව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉන්දියාවේ ඉන්දෝර් විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක කළමනාකරණ ඩිප්ලෝමාව ද හදාරා ඇත.

    අවසන් මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී සක්‍රීයව ක්‍රියාත්මක වී කටයුතු කළ 57 හා 56 වන සේනාංක යටතේ ස්ථාපිතව තිබු 8 වන ගජබා රෙජිමේන්තුවට අණදෙමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රැසක් ලබාගැනීමට එතුමන් සමත්විය. එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදයට එරෙහිව දියත්කළ මෙහෙයුම්වලට සක්‍රීයව දායක වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ත්‍රස්තවාදීන්ට එරෙහිව දක්වන ලද නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් ‘රණ වික්‍රම පදක්කමෙන්’ සහ ‘රණ ශූර පදක්කමෙන්’ පිදුම් ලබා ඇත. උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම්වලදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කිරිම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියා සිය හමුදා දිවියේදී තුන් වතාවක් ඉහත පදක්කම් වලින් පිදුම් ලබා ඇත. තවද, ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන ලද ක්‍රියාන්විත මෙහෙයුම්වලදී තුවාල ලැබීම හේතුවෙන් එතුමන් වෙත ‘දේශ පුත්‍ර පදක්කම’ ද පිළිගන්වා ඇත.

    මීට අමතරව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානී පදක්කම සහ සේවා පදක්කම වැනි පදක්කම් වලින් ද පිදුම් ලබා ඇත.

    පාසල් දිවිය තුළදී මළල ක්‍රීඩා සහ හොකී ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ එතුමන් මාතලේ විජය විද්‍යාලයේ කැපීපෙනෙන ආදි ශිෂ්‍යයකු වේ.

    එමෙන්ම, බුද්ධ ශාසනය වෙනුවෙන් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිදුකළ අපරිමිත මෙහෙවර ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත අමරපුර නිකායේ භික්‍ෂූ ශාසනය වෙතින් ‘ජනමාන්‍ය විභූතිරත්න’ යන ගෞරව නාමය ද පිරිනමා ඇත. ජානකී ලියනගේ මහත්මියගේ ආදරණීය සැමියා වන ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දියණියකගේ සහ පුතෙකුගේ ආදරණීය පියාණන් ද වේ.

    SL  Army

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya