මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාව

    ජූනි 01, 2022

    විදේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනම් කරන්න ...ජනපති කියයි.

    Ø උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘතීන්හි වැඩ අවසන් අදියරට ...

    Ø වාරි සහ මහවැලි යටතේ ඇති කුඹුරු ඉඩම්වලින් 50%ක් යලට වපුරා අවසන් ...

     යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය සැපයෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත බෙදාහැරීමට සැලසුම් කර තිබේ.

    වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ අද (01) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මේ වසර නිම වීමට පෙර අවසන් කර, මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබාදිය හැකි බව සාකච්ඡාවේ දී අනාවරණය කෙරිණ. මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ, මහගෝණ වැව, විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘති මීට සමගාමීව වැඩ නිමවීමට නියමිතය.

    විදේශීය අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේ දී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

    ගත වූ තෙදින තුළ සමස්ත විදුලි උත්පාදනයෙන් 80%ක් ජල සහ සුළං බලයෙන් ජාතික විදුලිබල පද්ධතියට සැපයූ බව අනාවරණය විය. ජලය මත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති ඉහළ නැංවීමට හා වහලය මත සවිකරන සූර්ය පැනල සඳහා ලබාදෙන ප්‍රතිලාභ වැඩි කර, පාරිභෝගිකයන් දිරිගැන්වීමට පියවර ගත යුතු බව ජනාධිපතිතුමා පැවසීය.

    යල කන්නයේ වගා කටයුතු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් 50%ක් මේ වන විටත් වපුරා තිබේ. මහවැලි ගෙවතු දෙලක්ෂ විසිපන්දහසක අතිරේක භෝග වගා සඳහා සැලසුම් කර ඇති බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළ අතර මෙතෙක් වී වගා කර නොමැති ඉඩම් වෙනත් භෝග වගා සඳහා යොමු කර ඇති බව නිලධාරිහු පෙන්වා දුන්හ.

    ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී. ජයලාල් යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya