මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියලුම බීජවල මිල නියාමනය කරන්නැයි උපදෙස්

    දෙසැම්බර් 03, 2021

    ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

    එබැවින් මෙරට නිෂ්පාදනය කරන සහ මෙරට ආනයනය කරනු ලබන සියලුම බීජවල මිල නියාමනය කිරීමට කටයුතු කළ යුතු බව ජාතික බීජ සභාවට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

    විශේෂයෙන් මෙරට ජාතික බීජ අවශ්‍යතාව පිළිබඳ නිවැරදී තොරතුරු පදනම් කරගෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඇති ගොවිපල සියල්ල බීජ නිෂ්පාදනයට යොදා ගත යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    (02) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති ජාතික බීජ සභාවේ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මෙම කරුණු සඳහන් කළේය.

     

    මෙරටට අවශ්‍ය බීජ මෙරටදීම නිෂ්පාදනය කර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කළ යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා එහි වගකීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා බීජ සභාවට පැවැරෙන බවද සඳහන් කළේය. එමෙන්ම ඉදිරි මාස 03 ඇතුළත හෝ ඊට පෙර මේ වනවිට රට තුළ ඇති බීජවල තත්ත්වය, දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන බීජ ප්‍රමාණය සහ ඒවායේ ප්‍රභේදයන්, දේශීයව නිෂ්පාදනය කරන බීජ අපනයනය කරන්නේද, එසේනම් එහි ගුණාත්මකභාවය, පිටරටින් ආනයනය කරන බීජවල ප්‍රමාණය සහ වර්ගය, දේශීය බීජ නිෂ්පාදනය 50%කින් වැඩි කර ගැනීම සඳහා ගත යුතු පියවර ඇතුළු කරුණු 12ක් පිළිබඳ සවිස්තර වාර්තාවක් ලබා දෙන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

     

    එමෙන්ම බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, බීජ හා රෝපණ ද්‍රව්‍ය පිළිබඳ පවතින ජාත්‍යන්තර සම්මූතින් පිළිබඳ අවධානය යොමු කර, එහි වැදගත් කරුණු මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා සමඟ පැවැති මේ සාකච්ඡාවේදී ජාතික බීජ සභාව වසර 05කට රැස්ව ඇත්තේ දෙවතාවක් බව හෙළිදරව් වීම නිසා අමාත්‍යවරයා උපදෙස් දුන්නේ සෑම මසකට වරක් බීජ සභාව රැස්වීය යුතු බවය. එමෙන්ම බීජ නිෂ්පාදනය පිළිබඳ සුවිශේෂී දැනුමක් ඇති විද්වතුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය අතහැර පෞද්ගලික අංශයේ සේවයට යන බවට වාර්තා වී ඇති බැවින්, ඔවුන් එලෙස පෞද්ගලික අංශයට යෑම වළක්වා, තවදුරටත් දෙපාර්තමේන්තුව තුළ රඳවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග යෝජනා කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

     

    මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පෙන්වා දුන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම ගොවිපලවල් බීජ නිෂ්පාදනය සඳහා නවීන තාක්ෂණානුකූලව නවීකරණය කරගෙන යන බවයි. සමහර බීජ මේවන විටත් 100%ක් මෙරට නිෂ්පාදන කරන බවද, රට කජු ඊට උදාහරණයක් බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දුනනේය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සහ ජාතික බීජ සභාවේ සභාපති උදිත් ජයසිංහ ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට සහභාගී වී සිටියහ.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya