මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තෙල් හිඟයක් නැහැ - මෙරටට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීමට සහතික කොට තිබෙනවා - බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල

    නොවැම්බර් 16, 2021

    රට මේ වන විට තුළ තෙල් හිඟයක් නොමැති බවත්, එසේ තෙල් හිඟයක් ඇති වන්නේ නම් ඒ පිළිබඳව රජය විසින් ජනතාව කල්තියා දැනුවත් කිරීමට කටයුතු කරන බවත්, එහෙත් මෙරට තෙල් හිඟයක් ඇති නොවන සේ කටයුතු කිරීම තමන්ගේ පළමු වගකීම වන බවත් මෙරට බලශක්ති අමාත්‍ය, කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී පැවසීය.


    සමස්ත ලෝකයේම බොහෝ ධනවත් රටවල් පවා බලශක්ති අර්බුදය හේතුවෙන් අඳුරේ ගත කළ දිනයන් තිබුණත්, විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුව ද, මෙරටට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීමට සහතික කොට තිබෙන බවත්, එහෙත් ආයතනයේ සේවකයෙකුවත් නොවන, කිසිඳු තනතුරක් නොදරන පුද්ගලයෙක් විසින් මාධ්‍ය වෙත නිකුත් කරන ලද අසත්‍ය ප්‍රකාශ වලින් ජනතාව නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත්, ඒ අනුව විස්වාසනීය මාර්ග වලින් ලබා දෙන තොරතුරුවල වුව ද සත්‍ය අසත්‍යභාවය තහවුරු කරගෙන මාධ්‍ය වෙත ජනතාවට ඉදිරිපත් කරන ලෙසත් උදය ගම්මන්පිල මහතා මෙහි දී අවධාරණය කළේය.

    එමඟින් ජනතාව අනිසි ලෙස කලබලකාරී වී අනවශ්‍ය ලෙස ඉන්ධන ගබඩා කිරීමට තැත්කිරීම හේතුවෙන් තාවකාලිකව ඉන්ධන සැපයුම අඩාල වීමක් නම් ඇති විය හැකි අතරම බොරතෙල් මිල දී ගැනීමේ දුෂ්කරතාවය නිසා සපුගස්කන්ද තෙල්පිරිපහදුව වැසීම පිළිබඳව තමන් විසින් මාධ්‍ය වෙත මීට පෙර අනාවරණය කර ඇති බවත්, එහි බලපෑම නොව තෙල් සංස්ථාවට පමණක් බලපාන අභ්‍යන්තර කරුණක් වන බවත්, එමඟින් මෙරට ඉන්ධන හිඟයක් ඇති නොවන බවත් හෙතෙම මෙහි දී කියා සිටියේය.

    විපක්ෂ නායකවරයා විසින් ඊයේ දින යේ දී මෙට්‍රික් ටොන් 6500 ක ධාරිතාවයක් සහිත සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් ඉන්ධන හිඟයක් ඇතිවේ ය යන්න වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළ බවත්, එහෙත් එලෙස මෙට්‍රික් ටොන් 6500 ක ධාරිතාවයක් තිබුණේ එහි ආරම්භක අවධියේ බවත්, මෙම තෙල් පිරිපහදුව සකස් කොට ඇත්තේ ඉරානියන් ලයිට් නමැති බොරතෙල් වර්ගය පිරිපහදු කිරීම සඳහා බවත්, එහෙත් 2012 සිට සම්බාධක පැනවීම හේතුවෙන් එම ඉන්ධන වර්ගය ආනයනය කළ නොහැකිව තිබෙන බවත්, ඒ අනුව එම ධාරිතාවය භාවිතා කළ
    නොහැකි බවත් ඒ ගම්මන්පිල මහතා කියා සිටින ලදුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව පෞද්ගලිකරණය කිරීමක් සිදු කෙරේ ද යන්න ප්‍රශ්න නැඟීමේ කිසිඳු පදනමක් නොමැති බවත් බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

    ඒ අනුව, එම ධාරිතාවයෙන් 80% ක පමණ දැනට භාවිතා කළ හැකි නමුත් මෙම පිරිපහදුව මඟින් මෙරට සමස්ත පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 14 % ක් සහ 29% ක් පමණක දායකත්වයක් ලැබෙන හෙයින් සපුගස්කන්ද පිරිපහදුව වැසීමෙන් මෙරට කිසිඳු අවස්ථාවක ඉන්ධන සැපයුමට බාධා වීමට මෙම කරුණ හේතුවක් නොවන බව මෙහි දී ඒ මහතා කියා සිටියේය.

    එමෙන්ම, රජය විසින් මිලට ගන්න ඉන්ධන වලට වඩා අඩු මිලට ඉන්ධන මිල දී ගත හැකි සැපයුම්කරුවෙකු සිටී නම් ඉදිරිපත් කරන ලෙස තමන් විපක්ෂ නායකවරයාට අභියෝග කරන බව ද, එසේ කළ නොහැකි නම් ජාතියට අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම සම්බන්ධව ජාතියෙන් සමාව ගත යුතු බව ද උදය ගම්මන්පිල මහතා කියා සිටියේය.

    ගෑස් ආදී ආනයන භාණ්ඩවල හිඟයක් ඇති ව තිබෙන බව සත්‍යයක් නමුත් එය එසේ සිදුව ඇත්තේ අපනයන අදායම සහ ආනයන වියදම අතර තිබෙන වෙනස නිසා බවත්, ඒ අනුව විදේශ විනිමය අර්බුදය විසඳෙන තුරු භාණ්ඩ හිඟ තාවයට මුහුණ දීමට සිදුවන බවත්, ඊට දිගු කාලීන විසඳුම් ලබා දීමට කටයුතු කරන අතරම කෙටි කාලින විසඳුම් වශයෙන් විදේශ රටවල් කිහිපයකින් ණය ලබාගෙන මෙම පවතින අර්බුදය සමනය කිරීමට මෙන්ම භාණ්ඩ හිඟය හැකි ඉක්මණින් විසඳීමට ආණ්ඩුව කටයුතු කරන බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya