මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීම සිදු වුවත් රටේ තෙල් සැපයුමට බලපෑමක් නෑ- බලශක්ති අමාත්‍ය

    නොවැම්බර් 15, 2021

    තමන් සැප්තැම්බර් 29 දින අනතුරු ඇඟවූ පරිදි අද දින සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීම සිදු වුවත් එය රටේ තෙල් සැපයුමට බල නොපාන බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය

     ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද (15) පස්වරුවේ බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි.

     එහිදී ඒ මහතා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය

     සැප්තැම්බර් 29 දින අනතුරු ඇඟවූ පරිදි අද දින සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට අපි තීරණය කලා. රට සතු සීමිත විදේශ විනිමය අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට පමණක් යොදා ගැනීමට අවශ්‍ය නිසා තමයි අපි මේ තීන්දුව ගත්තේ. අපේ තෙල් පිරිපහදුව වසර 51ක් පරණයි. එහි ප්‍රතිඵලයක් ලෙස 37% පමණ නිෂ්පාදනය වෙන්නේ දැවිතෙල් සහ නැප්තා. තවත් 19% ගුවන් යානා තෙල්. පෙට්‍රල් සහ ඩීසල් නිෂ්පාදනය වන්නේ 43%යි.

     

    මේ දිනවල අධික වැස්ස හේතුවෙන් සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 50%කට වඩා ජලයෙන් සිදු කරන්නේ. ඒ නිසා දැවිතෙල් අවශ්‍ය නෑ කියා විදුලිබල අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. ඒ වගේම ගුවන් යානා තෙල් මෙරට නැතිනම් බොහෝ අවස්ථා වල දී ගමන අරඹන ගුවන් තොටුපොලෙන් ලබා ගන්න පුළුවන්. දිගු ගමන් සඳහා පමණයි ලංකාවෙන් තෙල් මිල දී ගැනීමට අත්‍යාවශ්‍ය වෙන්නේ. මේ දිනවල අධික ඉල්ලුමක් නැති දැවි තෙල් සහ ගුවන් යානා තෙල් 56%ක් නිෂ්පාදනය වන බොරතෙල් සඳහා සීමිත විදේශ විනිමය වැය කිරීම පාඩුයි. ඒ විදේශ විනිමය පෙට්‍රල් සහ ඩීසල් වගේම ඖෂධ, ආහාර සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට වැය කරන්න පුළුවන්.

     

    පිරිපහදුවෙන් සපයන්නේ සමස්ත පෙට්‍රල් අවශ්‍යතාවයෙන් 14%යි. ඩීසල් අවශ්‍යතාවයෙන් 29%යි. බොරතෙල් ආනයනය කරනවා වෙනුවට මේ ප්‍රමාණයන් ආනයනය කිරීම විදේශ විනිමය කලමනාකරණයේ දී වැදගත් වෙනවා.

     

    මේ දිනවල මේ විදේශ විනිමය අර්බූදයට පිළියමක් ලෙස ඉන්ධන මිල දී ගැනීම සඳහා ණය පහසුකමක් ලබා ගැනීමට රටවල් ගණනාවක් සමග සාකච්ඡා කරනවා. වත්මන් මිල ගණන් අනුව අපිට මසකට ඩොලර් මිලියණ 350ක් වැය වෙනවා. එය දැවැන්ත මුදලක්. ඔබට මතක ඇති අගමැතිතුමා බංගලි දේශයට ගිහින් ලබාගත් ණය මුදල ඩොලර් මිලියණ 300යයි. චීනයෙන් ලබාගත් ණය මුදල ඩොලර් මිලියන 350යි. ඒ ලබාගන්නා ණය මුදල අපේ එක මසක තෙල් ආනයනයට ප්‍රමාවත් නෑ. දිගින් දිගටම පාඩු ලබන නිසා තෙල් සංස්ථාවට ණයක් ගැනීම දුෂ්කරයි. ඒ වගේම ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉතාම පහල මට්ටමක තිබෙන නිසා ණය ගැනීම තවත් දුෂ්කර වී තිබෙනවා. විදේශ විනිමය හිඟය යම් මට්ටමකට සමනය කර ගත් වහාම බොරතෙල් ආනයනය අපි යලි පටන් ගන්නවා. උපරිම වශයෙන් දින 50ක් පමණ පිරිපහදුව වසා දමන්න සිදු වේවි.

     

    සමහරු මාධ්‍ය හමු පවත්වා මෙය රටට බලපාන නැවුම් ප්‍රවෘත්තියක් බවට පත් කරන්න උත්සාහ කළත් බොරතෙල් හිඟයක් ඇති වී තෙල් පිරිපහදුව වසා දැමීමට සිදුවිය හැකි බවටත් එයින් රටේ ඉන්ධන හිඟයක් ඇති නොවන බවටත් සැප්තැම්බර් 29 තරම් ඈත දිනක මාධ්‍ය හමුවක් පවත්වා අපි රටට කිව්වා. ඒ අනුව බොරතෙල් මිල දී ගැනීම නැවැත්වීමෙන් පිරිපහදුව වසන බවට අපි රටට කිව්වේ නැත්තේ එය රටේ තෙල් සැපයුමට බල නොපාන අභ්‍යන්තර කාරණයක් නිසා.

     

    පුරුද්දක් ලෙස මාධ්‍ය ඉදිරියේ බොරු කියන විශ්‍රාමික සේවකයෙක් තෙල් හිඟයක් ඇති වන බවටත් පැය 12ක් විදුලිය කපා හැරීමට සිදුවන බවටත් මාධ්‍ය හමුවක පවසා තිබුණා. මේ පුද්ගලයාම තමයි වරින් වර මාධ්‍ය ඉදිරියට ඇවිත් විවිධ බොරු කියන්නේ. පසුගිය ජූලි මාසයේ සිට තුන් වතාවක් රටේ තෙල් හිඟයක් ඇති වන බවට බොරු ප්‍රකාශ කලා. ඉන්දියානු විදේශ ලේකම් ත්‍රිකුණාමලයේ යන්නේ තෙල් ටැංකි ඉන්දියාවට පවරන ගිවිසුමක් අත්සන් කරන්න කිව්වා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තෙල් ටැංකි 99 ම ඉන්දියාවට දීල ඉවරයි කියන්න ඔවුන් අත්සන් කල ගිවිසුම මම පාර්ලිමේන්තුවේ සභා ගත කලා. ඛනිජතෙල් ගවේශනයට මම පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලාම ඒකෙන් තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරනවා කිව්වා. සමහර වෙලාවට පනත් තේරුම් ගන්න බැරුව ඇති. පිරිපහදුවෙ නම් කවදාවත් වැඩ නොකරපු නිසා පිරිපහදුවේ මොකක්ද වෙන්නේ කියලා තේරුමක් නැතුව ඇති. මේ කියන බොරු නිසා හා ඒවාට ලැබෙන මාධ්‍ය ඉඩ නිසා අවසන් වශයෙන් වෙන්නේ ජනතාව මහ වැසි මැද මහා වසංගත මැද තෙල් පිරවුම් හල් වල පෝලිමේ සිටිමින් අසීරුතාවයට පත්වීම පමණමයි.

     

    දැන් කියනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට සපුගස්කන්ද තෙල් දැල්ල නිමුනා කියලා. වසර දෙකකට හෝ තුනකට වරක් නඩත්තු කටයුතු සඳහා තෙල් දැල්ල නිමනවා. මාසෙකට ආසන්න කාලයක් වසා තබනවා. ඒ වගේම මෑත ඉතිහාසයේ දෙවරක් බොරතෙල් නිසි වෙලාවට ගෙන ඒමට කළමනාකරණය අසමත්වීම නිසා පිරිපහදුව වසා දමා තිබෙනවා. ඔය දැල්ල නිවී ගිහින් තිබෙනවා.

     

    ප්‍රශ්නය

    පිරිපහදුව වැහුනේ ඔබතුමා හන්ද කියල කවුරුහරි චෝදනා කළොත් ඔබතුමා මොකද කියන්නේ ?

     

    පිළිතුර

    අද රටේ වාහන වලින් පටන් ගත්තම භාණ්ඩ වර්ග ගණනාවක් ගේන්න බැරිවෙලා තියෙන්නේ වෙන මොකක්වත් හන්දා නෙමෙයි විදේශ විනිමය හිගය නිසා. මට ඩොලර් උල්පතකුත් නෑ. මට ඩොලර් මුද්‍රණය කිරීමේ බලයකුත් නෑ. ඉතින් ඩොලර් හිගයට මම වග කියනන් ඕනෑ කියලා කවුරුහරි කියනවා නම් එයාට ඩොලර් ගැන අවබෝධයක් නෑ කියලයි මට කියන්න වෙන්නේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya