මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      විශේෂ භාණ්ඩ බද්දෙන් ජනතාවගේ එදිනෙදා ජීවිතය ගෙනයාමට අවශ්‍යකරන භාණ්ඩ, සේවා හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිසිවකට බලපෑමක් නෑ

    නොවැම්බර් 13, 2021

    ඉදිරියේදී පැනවීමට යෝජිත විශේෂ භාණ්ඩ බද්ද තුළින් ජනතාවගේ එදිනෙදා ජීවිතය ගෙනයාමට අවශ්‍යකරන භාණ්ඩ, සේවා හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිසිවකට බලපෑමක් ඇති නොකරන බවත්, තමන් මෙම බද්ද පැනවීමට බලාපොරොත්තු වන්නේ මධ්‍යසාර හෝ එවැනි භාන්ඩ සම්බන්ධයෙන් පමණක් වන බවත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරෙන “අයවැය - 2022” මුදල් අමාත්‍යවරයා සමඟ කෙරෙන සාකච්ඡා මාලාවේ පළමු සාකච්ඡාවට අද(13) එක්වෙමිනි.

    එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ අතර මෙවර ඉදිරිපත් කළ අයවැයෙහි බදු සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, බදු ප්‍රතිපත්තියේ විශාල වෙනසක් ඇති කිරීමට තමන් බලාපොරොත්තු නොවූ බවත්, විටින්විට බදු වෙනස්කිරීම තුළ ව්‍යවසායකයන්ට සිය කටයුතු නිසි පරිදි සකසා ගැනීමට මෙන්ම ජනතාවගේ ජීවන සැළසුම් නිසි පරිදි ගෙනයාමට නොහැකි නිසා අවම වශයෙන් එකම බදු ප්‍රතිපත්තිය වසර 03ක් වත් ගෙන යායුතු බවත්, එය ජනාධිපතිවරයාගේද බලාපොරොත්තුව බවත්ය.

    එමෙන්ම මෙම බදු ප්‍රතිපත්තිය නිසි පරිදි සකස් කර ඇති මුත් මේ මොහොතේදී එය සමාජගතවුවහොත් එය උපයෝගි කරගෙන යම් යම් ව්‍යාපාර හා පුද්ගලයන් වාසි ලබාගැනීමටත් ජනතාව සූරාකෑමටත් පොළඹිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටීම වැදගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

    භාණ්ඩ මිල උච්චාවචනය වීම සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, මෙම තත්වය මෙරටට පමණක් ඇතිවී තිබෙන තත්වයක් නොවන බවත්, මෙම අර්බුද අවස්ථාවේදී ගෝලීය වශයෙන් බඩු මිල ඉහළ ගොස් ඇති බවත්, වත්මන් රජය මෙරට නිපදවිය හැකි භාණ්ඩ සුලභ කිරීම මගින් මිල පහල දැමීමට කටයුතු කරන බවත්, වෙනත් රටවල ගොවීන්ට හෝ සමාගම්වලට වැය වූ මුදල් මෙරටේ ගොවියාට ලබා දීමට කටයුතු කිරීම සිය අපේක්ෂාව බවත්, මෙරට ඉතා අපහසුවෙන් ජීවත්වන පිරිසගේ ජීවන තත්වය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන තිස් එක් දහසක් වෙන්කර ඇති බවත්ය.

    මේ පිළිබඳ පැහැදිළි කරමින් අමාත්‍යවරයා “ ගැබිණි මව්වරු වෙනුවෙන් මාස 10කට දෙන සහනාධාරය අවුරුදු 02 දක්වා වැඩිකර තිබෙනවා. මව්වරුන්ගේ සෞඛ්‍ය හා පෝෂණය ගැන සිතා මාස 10 මාස 24 කරන එක ලොකු වැදගත්කමක් තිබෙනවා. ඒ වගේම කාන්තා ව්‍යවසායකයන් සමඟ සිය ගෙදරම පවත්වාගෙන යන සුපිරි වෙළදසල් ජාලයක් ආරම්භ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන පහලොස් දහසක් වෙන් කර තිබෙනවා. ඒ වගේම සහන මල්ලක් දීම සඳහා අපි මේ වන විට වෙළද අමාත්‍යංශයට උපදෙස් දී තිබෙනවා. මේ තත්වයත් එක්ක ඉතාම අමාරු අයට මෙතුලින් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන්නට අපට හැකි වේවි. ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ඍජුව මුදල් වෙන් කළ කිසිම අයවැයක් මීට පෙර තිබී නෑ. එක බඩුවක දෙකක මිල අඩුකිරීම නෙවෙයි ඔවුන්ගේ අවශ්‍යතා අනුව බඩු අප දෙන කූපන් පොතෙන් ගන්න පුලුවන්. අපගේ එකම කොන්දේසිය තමයි ඔවුන් ගන්නා දේ වලින් සියයට 50ක් දේශීය දේවල්වලට දිය යුතුයි කියන එක.” යනුවෙන් පැවසීය.

    එමෙන්ම විදේශයන්හි සිට මෙරටට ගෙන්වන භාණ්ඩ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ආනයනික භාණ්ඩ මෙරටට ගෙන්වීමේදී නැව් ගාස්තු, අනෙකුත් නාවික ගාස්තු හා එම රටවල නිෂ්පාදකයන් විසින් සිදුකෙරෙන මිල උච්චාවචනය වැනි කාරණා බලපාන බවත්, පවතිනා කොවිඩ් තත්වයේ බලපෑමත් හේතුකොටගෙන කිසිදු ආනයනික භාණ්ඩයක මිල එළැඹෙන වර්ෂයේදී පහළ යනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත්ය.

    කාබනික පොහොර යොදාගෙන ගොවිතැන් කරන ගොවීන්ට යම් වගා හානියක් සිදුවේ නම් රජය ගන්නා පියවර කුමක්ද යන්න මාධ්‍ය විමසූ විට මෙවර වගා කටයුතු කරන ගොවීන්ට රසායිනික පොහොර හා කෘමි නාශක නොමැතිව වගා කටයුතු කිරීමට පහසුකම් සළසා දෙන බවත්, දැනටමත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ සාකච්ඡා කර කෘෂි රක්ෂණ මණ්ඩලයක් පිහිටුවා කාබනික ගොවිතැන් කරන පිරිසට වගා හානියක් සිදුවන්නේ නම් රජය විසින් වන්දි ගෙවීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

    මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය කොවිඩ් සමයේදී සිය අස්වැන්න විකිණීමට අපොහොසත් වූ ගොවීන්ගේ අස්වැන්න රජය විසින් ලබාගෙන ඔවුන්ට සාධාරණයක් ඉටු කළ බවත්, ඉදිරියේදී සිදුවන ඕනෑම අලාභහානියකට මුහුණ දීමට රජයක් ලෙස තමන් සූදානම් බවත්ය.

    මෙහිදී රජයේ සේවකයන්ට සහන නොලැබීම සම්බන්ධයෙන්ද මාධ්‍ය විමසූ අතර එහිදී අදහස් දක්වමින් “අසීමාන්තික ලෙස රාජ්‍ය සේවය පුළුල් වෙලා තිබෙනවා. අපි පිළිගත  මෙය යම් කිසි ආකාරයක බරක්. යම් ආකාරයකින් රාජ්‍ය සේවකයන්ට සහනයක් දෙනවා කියන්නේ ජනතාවගෙන් ඒ සඳහා මුදල් එකතු කරගන්න අවශ්‍යයි. රජයකට මුදල් ලබාගත හැකි ක්‍රමය තමයි මහජනතාවගෙන් ඒක ලබාගෙන තවත් පිරිසකට දීම. පැහැදිළිවම කියන්න අවශ්‍යයි මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනතුරු රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ. එනමුත් රාජ්‍ය සේවකයින්ගේ ප්‍රධාන වශයෙන් මූල්‍යමය ප්‍රතිපාදන එතරම් නොයන ආකාරයේ සහන, විශේෂයෙන්ම සමහර රාජ්‍ය සේවකයන් වයස අවුරුදු 45 දි වගේ තමයි රාජ්‍ය සේවයට එන්නේ. ඔවුන් අවුරුදු 55දි විශ්‍රාම යනවිට අවුරුදු 10ක විශ්‍රාම වැටුපක් ලැබුනත් අපේ පරමායුෂ කාලය වැඩිවීම හේතුවෙන් අපි අවුරුදු 10කින් රාජ්‍ය සේවකයින්ගේ සේවා කාලය දීර්ඝ කර තිබෙනවා. මාසික වැටුප අවුරුදු 10කින් වැඩිකළ විට රාජ්‍ය සේවකයන්ට එමගින් මොනතරම් ලාභයක් ලැබෙනවාද බලන්න. රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය පළපුරුද්ද සහිත රාජ්‍ය සේවකයින්ගේ අවශ්‍යතාවය අපට තදින්ම දැනුනා. ඒ
    නිසා අපි ඒ ආකාරයෙනුත් ඒ වගේම තවත් ක්‍රමවේදයන් කිහිපයකින් රාජ්‍ය සේවකයන්ට සහන සැලසීමට අපි ක්‍රියාකරලා තිබෙනවා.” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya