මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බර්සා හි ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලාංකික නිපැයුම් පිළිබඳව ගවේෂණයට සැරසෙයි

    සැප්තැම්බර් 29, 2021

    බර්සා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සාමාජිකයන් සමඟ පැවති තොරතුරු හුවමාරු කරගැනීමේ වට මේස හමුවක් අතරතුරදී, තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. ආර්. හසන් මැතිතුමා පුළුල් පරාසයකින් යුක්ත ගුණාත්මක ලාංකික නිෂ්පාදන ගවේෂණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා සෙවීම සඳහා බර්සා හි මූලික ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය.

    බර්සා නුවර සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ කටයුතු, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීම සඳහා, තානාපතිවරයා 2021 සැප්තැම්බර් 24 වැනි දින බර්සා වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩබලන සභාපති ඉස්මයිල් කුස් මහතා, සභා සාමාජිකයින් සහ අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීය.

    මෙම අවස්ථාව සඳහා සහභාගී වූ, මේ වන විටත් ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ සමාගම් නියෝජිතයන් දේශීය කුළුබඩු, ලංකා තේ, ටයර් සහ අනෙකුත් රබර් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව උනන්දුවක් දැක්වූහ. එමෙන්ම, නිරෝධායන සීමාවලින් තොරව ශ්‍රී ලංකාව විදේශිකයන් සඳහා විවෘත කළ වහාම මෙහි පැමිණීමට ඔවුන් තුළ ඇති කැමැත්ත ද පළ කළහ.

    දැවැන්ත නිෂ්පාදන අංශයකින් සමන්විත තුර්කියේ දෙවැනි විශාලතම ව්‍යාපාරික නගරය වන බර්සා ප්‍රදේශය, 2020 වර්ෂයේ දී ඇ.ඩො. මිලියන 21.3 ක මුළු වෙළඳාමක් වාර්තා කළේය. මිලියන 3.1 ක ජනගහනයකින් යුක්ත බර්සා නගරය, වත්මන වන විට ජනගහනය අතින් සිව්වැනි ස්ථානය හිමි කරගෙන සිටී. වර්ෂ 1889 දී ස්ථාපිත කරන ලද බර්සා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය 46,000 ක සාමාජික පිරිසකින් සමන්විතය. ඇඟළුම්, වාහන නිෂ්පාදනය, ආහාර සැකසීම, නැවුම් පලතුරු, ඇට වර්ග, වියළි පලතුරු සහ සංචාරක ව්‍යාපාරය යනාදිය එහි ආර්ථිකයට දායක වන ප්‍රධාන අංශ වේ.

    තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක (වාණිජ) යෝෂිතා ජයසූරිය මහත්මිය, බර්සා හි ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල් අහ්මත් යිල්ඩිස් මහතා, සභාවේ උප සභාපති මුරාට් බෙයිසිට් මහතා, සභාවේ නියෝජ්‍ය සභාපති මෙටින් සෙන්යූර්ට් මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජික යුක්සල් ටැස්ඩෙමීර් මහතා මෙම හමුවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya