මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැප්තැම්බර් 28 ලෝක ජලභීතිකා දිනයයි

    සැප්තැම්බර් 28, 2021

    අද සැප්තැම්බර් 28 ලෝක ජලභීතිකා දිනයයි. ‘දැනුම බෙදමු, බිය දුරලමු, ජලභීතිකාව වළකමු’ තේමා කරගනිමින් මෙවර ජලභීතිකා දිනය සමරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.


    ජලභීතිකාව මිනිසාට මෙන්ම සතුන්ට ද බෝවන වෛරස් රෝගයකි. වෛරසය ආසාදිත සතෙකුගේ ඛේටය මගින් පිටවන වෛරසය තවත් පුද්ගලයෙකුට ශරීරගත වීමෙන් රෝගය ආසාදනය වේ. සපාකෑම්, සීරීම්, කැඩුණු සම මත හෝ ශ්ලේෂ්මල පටල මත ඛේටය තැවරීමෙන් වෛරසය ආසාදනය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මහතා ප්‍රකාශ කරයි.

    ජලභීතිකාව මිනිසාට සම්ප්‍රේෂණය වන ප්‍රධාන වාහකය සුනඛයා ය. කඩිනම් සහ පලදායී එන්නත් මගින් රෝගය වළක්වාගත හැකි වුව ද රෝග ලක්ෂණ පහළ වූ පසු ජලභීතිකා රෝගය සතුන්ට මෙන්ම මිනිසුන්ට ද මාරාන්තික වීමට පිළිවන. 1970 ගණන්වලදී ශ්‍රී ලං‍කාවෙන් වසරකට ජලභීතිකා මරණ 350 සිට 380 දක්වා වාර්තාවූ අතර දැන් එය 20- 30 දක්වා අඩුවි තිබේ. අඩුම ජලභීතිකා මරණ සංඛ්‍යාව වාර්තාවන්නේ 2014 වර්ෂයේදී ය. ඒ 19කි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයීමට අනුව දී සුනඛ සපා කෑමෙන් සිදුවන මරණ 2025 ශ්‍රී ලංකාවෙන් තුරන් කළ හැකි බව වෛද්‍ය කිත්සිරි මහතා පෙන්වාදෙයි.

    ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයන් 300,000 ත් 350,000 ත් අතර සංඛ්‍යාවක් සුනඛ සපා කෑමෙන් රෝහල් ප්‍රතිකාර සඳහා යොමු වන අතර ජලභීතීකා මර්දන කටයුතු සඳහා රජය වාර්ෂිකව වැයකරන මුදල රුපියල් මිලියන 600කට අධික බව වෛද්‍යවරයා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීමට නම් සුනඛයින්ගෙන් සියයට 70කට ජලභීතිකා රෝගයට එරෙහි එන්නත් දීම කළයුතුය. ඒ සඳහා සියලු සුනඛයින්ට සති 4-6 අතරේත්, නැවත මාස 03 දීත් හා ඉන් පසු වසරක් පාසාත් එන්නත් දිය යුතු බව වෛද්‍ය කිත්සිරි මහතා පවසයි. සැක සහිත සතෙකු සපාකෑ ස්ථානය ගලායන ජලයෙන් විනාඩි 10ක් සෝදා රෝහල්ගත කළ යුතුය. මානුෂීය ක්‍රම මගින් සුනඛ ගහනය පාලනය කිරීමෙන් හා වගකීමෙන් සුරතල් සතුන් ඇති කිරීමෙන් ජලභීතිකා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කළ හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ‍ය සඳහන් කරයි.

    ජලභීතිකාරෝගය තුරන් කිරීමෙන් මිනිස් ජීවිත බේරා ගැනීමටත්, පශ්චාත් නිරාවරණ ප්‍රතිකාර සඳහා යන පිරිවැය ඉතිරි කර ගැනීමටත් හැකිවන බව ද සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වාදෙයි.

    මොහාන් සමරනායක
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya