මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයට පවරාගෙන තිබෙන සීනි තොග ආනයනය කළ පුද්ගලයන්ටම නැවත ලබා දෙන බවට පළවන වාර්තා අසත්‍යයි-රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න

    සැප්තැම්බර් 06, 2021

    රජයට පවරාගෙන තිබෙන සීනි තොග,ඒවා ආනයනය කළ පුද්ගලයන්ටම නැවත ලබා දෙන බවට පළවන වාර්තා අසත්‍ය බවත් රටේ සෑම ස්ථානයකම සීනි සහ සහල් පාරිභෝගිකයාට අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගැනීමට අවශ්‍ය පරිසරය මේ වන විට සකස් කෙරෙමින් පවතින බවත් සමුපකාර සේවා,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අවධාරණය කරයි.

     

    අද (06) පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීතිය පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    වරායේ තිබෙන සීනි කන්ටේනර් සඳහා බදු සහන ලබා දී ඇත්තේ එම සීනි තොග සතොස ආයතනයට ලබා ගැනීමට බවත් වෙළඳපොළ තත්වය තවමත් නිවැරදි වී නොමැති බවත් ඉදිරි සිකුරාදා දිනට පෙර රටේ සෑම ස්ථානයකම සීනි සහ සහල් පාරිභෝගිකයාට අවශ්‍ය ප්‍රමාණයට මිලදී ගැනීමට අවශ්‍ය පරිසරය මේ වන විට සකස් කෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.ඒ සඳහා මෙම ගැසට් නිවේදනයෙන් ලබා දී ඇති බලතල ප්‍රයෝජනයට ගන්නා බව හෙතෙම තවදුරටත් කියා සිටී.

    ශත 25 බද්ද පිළිබඳව සමස්ත සියලු දෙනාගේ මතය බවට පත්ව ඇත්තේ මෙම කාලයේදී මෙම බද්ද අඩු කර ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඉතිහාසය දෙස බැලීමේදී සීනි සඳහා මෙම බදු සහන වසරකට දෙවරක් ලබා දී ඇති අවස්ථා පවතින බවත් පෙන්වා දුන්නේය. ඒ අනුව 2008 වසරේ රුපියල් 14ක බද්දක් පනවා ඇති බවත් 2009 වර්ෂයේ එය රුපියල් 16ක් වූ බවත් 2007 රුපියල් 20ක්ද 2011 දී රුපියල් 30ක් , 2014 දී රුපියල් 25ක් හා රුපියල් 33ක් ද 2018 දී රුපියල් 30ක්ද 2016දී නැවත ශත 25ක අඩු කළ බවද 2017 වසරේ කිසිදු මුදලක් අය නොකළ බවත් 2020 වර්ෂයේදී නැවත රුපියල් 50ක් ආදී වශයෙන් සීනි සඳහා බදු සහන ලබා දී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.සෑම භාණ්ඩයකම මේ වන විට වෙළඳ බදු පනවන බවත් එසේ බදු පනවන්නේ දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම ,ආනයන අධෛර්යමත් කිරීම වැනි හේතු නිසා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

    සීනි පරිප්පු සැමන් සඳහි අධික මිලක් පැවතීමත් සීනි රුපියල් 145ක් ක් වු බවත් බදු අඩුකිරීමෙන් පසු රජය රුපියල් 85කට විකිණිය යුතු බවට දැනුම් දුන්නද එසේ විකිණීම ප්‍රතික්ෂේප කළ බවත් බද්ද පැවතියේනම් රුපියල් 155ක් වැනි මුදලකට අලෙවි වනු ඇති බවත් නමුත් රුපියල් 105 - 110 අතර මිලක වෙළඳපොළේ සීනි පැවති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.සෑම බද්දකින්ම රජය අපේක්ෂා කරන සියයට සියයක ප්‍රගතිය අත් කර ගත නොහැකි බව පවසන අමාත්‍යවරයා එය සීනි බද්දට පමණක් සිදුවන දෙයක් නොවන බවත් කියා සිටියේය.රජය රුපියල් 49.75 බැගින් සීනි මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක් ආනයනය කළ බව පවසන අමාත්‍යවරයා ඉන් සියයට 30ක පමණ ප්‍රමාණයක් පාරි‍භෝගිකයා වෙත ගිය බවත් පැවසීය.කිසිවෙකුට සහන ලබා දීමේ අරමුණෙන් මෙම සීනි බද්ද පැනවීමට රජය ක්‍රියා නොකළ බව පෙන්වා දෙන අමාත්‍යවරයා සැබෑ ලෙසම පාරිභෝගිකයාට සහන ලබා දීම එහි මුඛ්‍ය අරමුණ වූ බව අවධාරණය කළේය.

    2003 වර්ෂයෙන් පසුව පාරිභෝගික ආරක්ෂණ පනතට එනදු සංශෝධනයක් සිදු නොකළ බව පෙන්වා දෙන අලගියවන්න මහතා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යශයක් ස්ථාපිත කරනු ලැබුවේ පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධව ගැටලු පවතින නිසා බව පැවසීය.

    අදවනවිට ලංකාවට ආනයනය කෙරෙන එච්.එස්.කෝඩ් 7500ක් පවතින බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඉන් භාණ්ඩ 1200ක් ගුණාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසුව රට තුළට ලබා ගන්නා බවත් ඉතිරි 6000ක ප්‍රමාණය කිසිදු පරීක්ෂණයකින් තොරව ලබා ගන්නා බවත් එවැනි අවාසනාවන්ත තත්වයක පාරිභෝගික ආරක්ෂණය පවතින බවත් හෙතෙම කියා සිටී.මේ නිසා පාරිභෝගික සේවා රාජ්‍ය අමාත්‍යංශය පිහිටවූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ප්‍රථම වරට මෙම පාරිභෝගික ආරක්ෂණ පනතේ තිබෙන අඩුපාඩුකම් නිවැරදි කර ගැනීම වෙනුවෙන් සමස්ත පනත මාස3 ක් ඇතුළත නිවැරදි කළ බවත් ඉකුත් මාසයේදී එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම සියලු සංශෝධනයන් සඳහා නොවැම්බර් මස දක්වා කල් ගත විය හැකි බැවින් දඩ මුදල් වැඩිවීම පිළිබඳ කොටස පමණක් කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

    තවද අද එහි පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සඳහා ඉදිරිපත් කර ඇති බවත් කියා සිටියේය.මෙම සංශෝධයෙන් පසුව පාරිභෝගික අධිකාරිය විසින් යම් භාණ්ඩයක් සම්බන්ධයෙන් පාලන මිලක් පැනවූ පසුව දැනට පවතින නීතිය වන තනි ව්‍යාපාරයකට රුපියල් දහසක් හෝ දසදහසක් වූ මුදල රුපියල් ලක්ෂය ලක්ෂ 5 බවට පත් කර තිබේ.දෙවන වරටත් එම හිමිකරු එම වරද සිදු කරන්නේ නම් පැවති රුපියල් 2000 - 20000 දඩය ලක්ෂ 2ක් සිට ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමට අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන සංශෝධනයෙන් දක්වා ඇත.සමාගමක් හෝ හවුල් ව්‍යාපාරයක් වන්නේ නම් දැනට පවතින දඩ මුදල රුපියල් ලක්ෂ 50දක්වා දක්වා වැඩි කිරීමටත් දෙවන වරටත් එද වැරැද්ද සිදු කරන්නේ නම් ලක්ෂ 10 - ලක්ෂ 100 දක්වා දඩ මුදලක් අය කිිරීමට පනතෙන් සංශෝධන ඉදිරිපත් කර ඇත.

    සීනි සඳහා මෙම මිල ගණන් තීරණය කරනු ලැබුවේ ජනවාරි මාසයේ සිට රටේ පවතින විනිමය ප්‍රශ්නයට විසඳුමක් ලෙස සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම නතර කළ නිසා සීනිවලට මාස 6කට පසුව මුදල් ගෙවීමට සිදු වන වන බැවින් එම කාලයට සාපේක්ෂව ඩොලරයට හිමි වටිනාකමින් මෙම මුදල ගෙවීමට සිදු වන නිසා බව අමාත්‍යවරයා පැහැදිළි කළේය. තවදුරටත් මේ පිළිබඳව පැහැදිළි කරන අමාත්‍යවරයා සී.අයි.එෆ් වටිනාකම 95ට පැවති සීනි සඳහා එවකට ඩොලරය රුපියල් 196ක්ද අද මහබැංකුව ඩොලරයක අගය 230ක් බවට ප්‍රකාශයට පත් කර ඇති නිසා ප්‍රායෝගික තත්වය වන්නේ මීට මාස 6කට පෙර ලබා ගත් සීනි සඳහා ගෙවිය යුතු මුදල සඳහා ඩොලරය ලබා ගත යුත්තේ රුපියල් 230කට වීමත් ය.තවද සීනි ක්ලෝවක මිල රුපියල් 116ක් ලෙස තීරණය කළේ මෙරට සීනි නිෂ්පාදනය වැඩි කිරීම අරමුණ කර ගෙන බවද හෙතෙම තවදුරටත් කියා සිටී.

    මෙරට සීනි කිලෝ ග්‍රෑම් එකක් නිෂ්පාදනය සඳහා රුපියල් 140ක මුදලක් වැය වන බව පවසන අමාත්‍යවරයා ආනයනය කළ සීනි අඩු මුදලකට ලබා දීමෙන් දේශීය සීනි නිෂ්පාදනය වැඩි කිරීමට නොහැකි බවත් කියා සිටී.මේ වන විට දේශීය සීනි නිෂ්පාදනය වැඩි වී ඇති බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම සීනි ආනයනය කළ පුද්ගලයන්ට රුපියල් 117කට හෝ රුපියල් 122කට ගෙවීම් සිදු කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.මෙම ලබා ගත් සීනි තොග පළමුව සමුපකාර සමිති සහ සතොසට බෙදා හැරිමට කටයුතු කළ බවත් ඒ වෙනුවෙන් මෙම ආයතනවලට වෙනම ගිණුමක් ආරම්භ කළ බවත් පැවසීය.

    පෙරේදා වන විට සුපිරි වෙළඳසැල් ජාලයට සහ රසකැවිලි නිෂ්පාදකයන්ට මෙම සීනි ලබා දීමට කටයුතු බවත් හෙතෙම කියා සිටී. අද සිට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට එම ප්‍රදේශවල තොග වෙළඳුන්ට ආහාර කොමසාරිස්වරයා යටතේ සීනි නිකුත් කිරීමට කටයුතු කරන බවද කියා සිටී.

    එසේ විකුණන සීනිවලින් ලැබෙන මුදල් වෙනම ගිණුමක තැන්පත් කෙරෙන අතර තමන්ගේ සීනි තොග සඳහා සීනි ආනයනකරුවන් අභීයාචනයක් ඉදිරිපත් කර තමන්ට වන්දි මුදලක් ගෙවන ලෙසට ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව එම මුදල පිළීබඳව සළකා බලා ගෙවීම් සිදු කිරීම මෙහි ප්‍රායෝගික තත්වය බව අමාත්‍යවරයා පැහැදිළි කළේය.එසේ නොමැතිව මෙම සීනි වැඩි මුදලකට විකුණා ඔවුන්ගේ මුදල් පියවීමක් සිදු නොකරන බව අමාත්‍යවරයා දැඩිව අවධාරණය කළේය.

    රටේ භාණ්ඩ හිඟයක් පවතින බවට හෝ භාණ්ඩවල ඉහළ මිලක් පවතින බවට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා පවසන්නේ නම් පමණක් එවැනි අවස්ථාවක පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි කළ හෝ නොකළ ඕනෑම ගබඩාවකින් භාණ්ඩ පාලන මිලට හෝ ආනයනික මිලට හෝ සාධාරණ වන්දියක් ගෙවා ලබා ගෙන සාධාරණ මිලකට පාරිභෝගිකයාට ලබා දීමේ වගකීම අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාට බලය ලබා දී ඇති බවත් හෙතෙම කියා සිටී.

    පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ග ගත් බවත් එම වගකීමෙන් කිසි ලෙසකට මිදීමට රජය , පාරිභෝගික අධිකාරිය මෙන්ම වෙළඳ අමාත්‍යංශය ක්‍රියා නොකරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya