මැයි 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනහිතකාමී වැඩබිමක් - සුරක්ෂිත දේශයක්

    මැයි 01, 2021

    මානව වර්ගයාගේ යහපැවැත්ම, සුරක්ෂිතතාවය හා අනාගත අභිලාෂයන් මුදුන්පත් කරලීමට සිය ශ්‍රමය කැප කර වැඩ කරන ජනතාව ඇගයීම හා සැමරීම සඳහා වෙන් කර ඇති මැයි දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම කම්කරු අමාත්‍යවරයා වශයෙන් මා ලද භාග්‍යක්කොට සළකමි.

    කොරෝනා වසංගතය හේතුවෙන් පෙර පරිදි මැයි දිනපෙළපාලි රැලි, උත්සව හා සැමරුම් පැවැත්වීමට නොහැකි වීම වැඩකරන ජනතාවට මෙන්ම රජයට ද ඉමහත් කණගාටුවකි. නූතන සමාජ ප්‍රගමනය උ‍දෙසා ඉමහත් දායකත්වයක් ලබාදෙන කම්කරු ජනතාව අනාදිමත් කාලයක් තිස්සේ කරන ලද අරගල, ජීවිත පරිත්‍යාගයන් හා කම්කරු සටන් තුලින් අත්කර ගන්නා ලද වරප්‍රසාදයන් හා අයිතීන් සුරක්ෂිත කරමින් ඒවා වඩාත් ශක්තිමත් කිරීමේ වගකීම රජයට පැවරී ඇත. මෙම වගකීම මනාව තේරුම් ගත් අප රටේ වර්තමාන රාජ්‍ය නායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුලපෞද්ගලික අංශයේ සේවක ආරක්ෂාව ඇති කිරීම හා නිපුන විදේශ ශ්‍රමික බලකායක් ඇති කිරීම යන ක්ෂේත්‍රයන් යටතේ වූ කාර්යයන් සුවිශේෂි ප්‍රමුඛතා ලෙස හඳුනා ගනිමින් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඵලදායිතාවය හා සුභසාධනය ඉහළ නැංවීමටත් වැඩකරන ජනතාවගේ වෘත්තීය අයිතිවාසිකම් සුරැකීමටත් කටයුතු කිරීමේ වගකීම කම්කරු අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන වෙත පවරා ඇත.

    අතිගරු ජනාධිපතිතුමාගේ“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය පදනම් කර ගනිමින් වර්තමාන හා අනාගත අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට හැකිවන පරිදි කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන සේ වර්තමානයට ගැලපෙන පරිදි යල්පැන ගිය කම්කරු අණපනත් සංශෝධනය කිරීමට දැනටමත් පියවර ගෙන ඇත.

    තවද, රට තුලට ආයෝජන ගලා ඒමට හිතකර පරිසරයක් ඇති කිරීමට යෝග්‍ය වන පරිදි කම්කරු නීති හා අණපනත් හා පවත්නා සංකීර්ණතා ඉවත් කරමින් සංගතතාවය ආරක්ෂා වන පරිදි සරළ කිරීම තුලින් සියළු පාර්ශවයන්ට ප්‍රතිලාභ ලැබෙන පරිදිමෙකී අණපනත් සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු කර ඇති බවත්, මෙහිදී කම්කරු ජනතාවට ලැබෙන ප්‍රතිලාභ කිසිසේත් කප්පාදු නොකොට වඩාත් ශක්තිමත් කිරීමට කටයුතු කර අති බවත් සතුටින් ප්‍රකාශ කරමි.

    තවද, කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ පෞද්ගලික අංශයේ ව්‍යාපාර ප්‍රජාව හා කර්මාන්තකරුවන් වෙත සිය ව්‍යාපාර හා කර්මාන්ත බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමේ අභියෝගයන්ට
    මුහුණ දීමට සිදුවූ අතර විශේෂයෙන් සේවකයින්ගේ රැකියා සුරක්ෂිතතාවය තහවුරු කරලීම සඳහා සුවිශේෂි වූ ගිවිසුම් හා ක්‍රියාවලියන් රාශියක් ඉදිරිපත් කොට සහන යෝජනා ක්‍රියාත්මක කර ඒ තුළින් කාර්මික සාමය පවත්වා‍ගෙන යාමටත් සිදුවූ අතර මෙම අභියෝගය දැනුමෙන් වටහා ගනිමින් ඉතා සාධාරණ ලෙස විසඳුම් ලබා දීමට නම්‍යශීලි වූ වෘත්තීය සමිති නායකයින්ට හා සේවා යෝජකයන්ට මාගේ කෘතඥතාවය පළකිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

    පසුගිය අයවැය ලේඛනය තුලින් තේ හා රබර් කර්මාන්තයන්හි යෙදෙන කම්කරු ජනතාවට ලබා දීමට පොරොන්දු වූ රුපියල් 1,000 අවම දෛනික වැටුප අභියෝග රාශියකට මුහුණ දෙමින් පඩිපාලක සභා
    තීරණ තුළින් ලබාදීමට හැකිවීම සුවිශේෂි ජයග්‍රහණයකි. ජාතික අවම වැටුප රුපියල් 12,500 දක්වා ඉහළ නැංවීමට කටයුතු කර ඇති අතර සියළුම පඩිපාලක සභාවන් කැඳවා ඉදිරි මාස 03 තුල සෑම පඩිපාලක
    සභාවකම අවම වැටුප ඉහළ දැමීම සඳහා පියවර ගැනීමට සැළසුම් කර ඇත.

    සේවකයින්ගේ සේවය අවසන් කිරීමේදී ලබාදෙන වන්දිය ගණනය කරනු ලබන වන්දි සූත්‍රයේ උපරිම සීමාව රුපියල් ලක්ෂ 12.5 සිට රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කිරීමත්, රැකියාවක දී සිදුවන අනතුරක්
    හේතුවෙන් ශාරීරික හානි හෝ බෙලහීනතාවයට පත්වන හෝ ජීවිතක්ෂයට පත්වන පුද්ගලයන්ට ලබාදෙන වන්දි මුදල රුපියල් ලක්ෂ 5.5 සිට රුපියල් ලක්ෂ 20 දක්වා ඉහළ නැංවීමට නව රජය බලයට පත්වීමෙන් පසු සිදුකර ඇත.

    සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හරින හාම්පුතුන්ට පවරන ලද නඩු සඳහා කඩිනම් තීරණ ලබා ගැනීම සඳහා ඒවා විසඳීමේ බලය කම්කරු විනිශ්චය සභා වෙත ලබාදීම සඳහාත් කම්කරු වන්දි පිළිබඳ ආරවුල් නිරාකරණය කර ගැනීම සඳහා කම්කරු වන්දි කොමසාරිස් හා කම්කරු විනිශ්චය සභා වෙත සමගාමී අධිකරණ බලයක් ලබාදීම සඳහාවූ විශේෂ විධිවිධාන පනත් දෙකක්
    පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමට කටයුතු යොදා ඇත. කම්කරු විනිශ්චය සභා වල පවරණ ලද නඩු සඳහා නීතීඥයන් නොවන කම්කරු නියෝජිතයන්හට පෙනී සිටීමට හැකිවන පරිදි කාර්මික ආරවුල් පනත සංශෝධනය කිරීමටත් විනය පරීක්ෂණ මාස 06 ක්  ඇතුලත පවත්වා විනය නියෝග ලබාදීම කඩිනම් කර දීමටත් අවශ්‍ය නීති සම්පාදනය කොට ඇත. එසේම, පෞද්ගලික අංශ‍යේ සේවකයින් සඳහා අවම විශ්‍රාම වයස අවුරුදු 60 ක් ලෙස නීතිගත කිරීමට දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබේ.

    සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තම මාසික දායක මුදල් ගිණුම් ගත වීම පිළිබඳව ක්ෂණිකව දැනුම්දීම සඳහා ජංගම දුරකථන කෙටි පණිවිඩ සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහාත් යම් සේවකයෙකු
    සේවයට බදවාගෙන දින 30 ක් ඇතුලත කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කෙරෙන පරිදි සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීමට පියවර ගනු ලැබේ. එසේම අන්තර්ජාතික
    කම්කරු සංවිධානය සමඟ නිරතුරුව සාකච්ඡා කරමින් ජාත්‍යන්තර ප්‍රතිපත්තීන්ට හා ප්‍රමිතීන්ට අනුව කම්කරු අයිතිවාසිකම් අරක්ෂා කර වැඩබිම් වල සේවක සුරක්ෂිතතාව ඇති කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන
    දැනටමත් ඉදිරිපත් කොට ඇත. වයස අවුරුදු 16 ට අඩු ළමයින් සේවයේ යොදවා ගැනීම නොහැකි වන ලෙස නෛතික ප්‍රතිපාදන දැනටමත් සම්මත කර ඇති අතර වයස අවුරුදු 18 ට අඩු ළමුන් අන්තරාදායක රැකියාවන්හි සේවයේ යෙදවිය නොහැකි බවට නියෝග පැනවීමට කටයුතු කර ඇත.

    විදේශ රටවල් සමඟ සමාජ ආරක්ෂණ ගිවිසුම් වලට එළඹීම පහසු වන පරිදි සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා ද සෞඛ්‍ය සුරක්ෂිතතාවය හා සේවක සුභසාධනය පිළිබඳ නව පනතක් අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කොට ඉතා ඉක්මනින් සම්මත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

    වැඩබිම් වල විශේෂයෙන් කාන්තාවන්ගේ සුරක්ෂිතතාවය හා ඔවුනගේ ගෞරවය සුරැ‍කෙන පරිදි රැකියාවන්හි යෙදීමෙන් පසුබිමක් සකස් කිරීම සඳහා ජාත්‍යාන්තර කම්කරු සංවිධානය මගින් සම්මත කර ගන්නා ලද අංක 190 - වැඩ ලොව තුල ප්‍රචන්ඩත්වය සහ හිංසනයේ තුරන් කිරීම සම්බන්ධයෙන් වූ සම්මුතිය පිළිගනිමින් ඒ අනුව අවශ්‍ය නීති සම්පාදනය දැනටමත් කරගෙන යනු ලැබේ. මෙවර කම්කරු දිනයේ දී ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට මෙන්ම විදේශ විනිමය සංචිතය ශක්තිමත් කිරීම සඳහා කැපවන මිලියනයක් (මිලියන 01ක්) පමණ වූ විගමනික ශ්‍රමිකයන් වෙත අපගේ කෘතවේදීත්වය පළ කිරීම මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ අනාගතය ශක්තිමත් කිරීම සඳහා සාධනීය පියවර ගත යුතුව ඇත. තැරැව්කරුවන්ගේ හා ඇතැම්ඒ ජන්සිකරුවන්ගේ නොයෙකුත් අක්‍රමිකතාවයන්ට ගොදුරු වීමට විගමනික ශ්‍රමිකයන්ට ඉඩ නොතබන අයුරින් අවශ්‍ය නීති රීති පද්ධතියන් ක්‍රියාත්මක කිරීමත් ඔවුන් වෙනුවෙන් ශක්තිමත් රක්ෂණ ක්‍රමයක් හා විශ්‍රාමික වැටුප් ක්‍රමයක් සකස් කර දීම සඳහා අප අමාත්‍යාංශය දැනටමත් මුලික පියවර ගෙන ඇත.

    තවද, ලංකා ට්‍රැක්ටර් (ලිමිටඩ්) සමාගම වසා දැමීම හේතුවෙන් එහි සේවය කළ සේවකයින් 122 දෙනෙකුගේ රැකියා අහිමි වී ඇති අතර ඔවුනට හිමි වන්දි මුදල වසර 18 අධික කාලයක් තිස්සේ නොලැබීම
    මගින් ඔවුන් දැඩි ආර්ථික හා සමාජීය වශයෙන් ගැටළු රාශියකට මුහුණ පා තිබූ වාතාවරණයක සිය රැකියා අහිමි වීම් මත ලබා දිය යුතුව තිබූ රුපියල් මිලියන 22කට ආසන්න වන්දි මුදල් අදාල ආයතන
    සම්බන්ධීකරණය කරගනිමින් ගෙවීමට හැකිවීම අප අමාත්‍යාංශය ලත් භාග්‍යකි.

    ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඉහළ ඵලදායිතාවයක් ලබාගත යුතු අතර ඉහළ ඵලදායිතාවයක් ලබාගත හැක්කේ තෘප්තිමත්ව වැඩකරන ජනතාවක් තුලින් බව අප අමතක නොකළ යුතුය.
    අධිරාජ්‍යවාදීන්ගේ පාලන සමයන් තුල මෙන්ම ඉන් අනතුරුවත් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් දිවි පිදූ, සටන් කල, විවිධ තාඩන පීඩන වලට ලක්වූ වෘත්තීය සමිති නායකයින් හා කම්කරු ක්‍රියාකාරීන් ගෞරව පූර්වකව සිහිපත් කරමි. ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අර්ථසාධක අරමුදල් පනතගෙන එමින් මැයි දිනය නිවාඩු දිනයක් බවට පත් කිරීමට දායක වූ එස් ඩබ් ආර් ඩි බණ්ඩාරණායක මැතිතුමාත්, සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියත්, හිටපු කම්කරු අමාත්‍යවරයෙකු වූ ටී බි ඉලංගරත්න මැතිතුමා සහ හිටපු කම්කරු අමාත්‍ය සහ වර්තමාන අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ ඇතුළු කම්කරු ජනතාවගේ සුභසාධනය සඳහා දායක වූ සියළු දේශපාලන නායකයින් මෙම කම්කරු දිනයේ දී අප සිහිපත් කරන්නෙමු.

    වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් රැක ගැනීම සඳහා මෙන්ම නූතන තාක්ෂණය සමඟ අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ වැඩ කරන ජනතාව නිපුන වැඩකරන ජනතාවක් බවට පත්කළ යුතුව ඇත. තවද,
    පෞද්ගලික අංශයේ කම්කරු ජනතාවට වෙන් වෙන්ව ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් මෙතෙක් සකස් කර නොමැති හෙයින් කම්කරු දිනයේ දී අපගේ අවධානය යොමුකර ශක්තිමත් සමාජ
     ආරක්ෂණ ක්‍රමයක් සළසාදීම සඳහා තිරසාර පියවරක් ආරම්භ කිරීමට අප අධිෂ්ඨාන කොට ක්‍රියාත්මක කරන්නෙමු. සමස්ථ කම්කරු ජනතාවට ජයග්‍රාහී මෙන්ම තම අයිතීන් සුරක්ෂිත වන උණුසුම් මැයි
    දිනයක් වේවා..!

    නීතීඥ නිමල් සිරිපාල ද සිල්වා
    කම්කරු අමාත්‍ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya