මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පරිසරය සුරැකීමට වගකිව යුතු සියලු නිලධාරීන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ අමාත්‍යංශ ඒකකයක් පිහිටුවීමට පියවර - පරිසර අමාත්‍ය

    මාර්තු 30, 2021

    පරිසරය විනාශ වීම සම්බන්ධයෙන් වර්තමානයේ රට තුළ ඇතිව තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ අදාළ සිද්ධීන්වලදී කඩිනමින් සහ කාර්යක්ෂමව ක්‍රියාත්මක විය හැකි ඒකකයක් පිහිටුවීමට පසුගියදා පැවති පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් යෝජනා කළේය.


    එම ඒකකයට පරිසර, වනජීවි, වන සංරක්ෂණ, මහජන ආරක්ෂාව ඇතුළු අමාත්‍යංශ මෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය වැනි රජයේ ආයතනවල වගකිව යුතු නිලධාරීන් ඇතුළත් විය යුතු බවටද රැස්වීමේදී යෝජනා විය.

    මීට සමගාමීව, පරිසර විනාශය සම්බන්ධයෙන් රට තුළ ව්‍යාජ ප්‍රවෘත්ති සංසරණය වැළක්වීමටත්, ජනමාධ්‍ය විසින් ඉදිරිපත් කරනු ලබන වැදගත් ප්‍රවෘත්ති කෙරෙහි වැඩි අවධානයක් දැක්වීමටත් නව මාධ්‍ය ඒකකයක් ස්ථාපනයට ද මෙම රැස්වීමේදී තීරණය විය.

    පාර්ලිමේන්තුවේදී පරිසර අමාත්‍ය  මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී ඉහත තීරණ ගනු ලැබූ අතර එහිදී දිවයින පුරා මතුවී තිබෙන පරිසර ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු විණි.
    විශේෂයෙන්ම, වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් උද්ගත වී ඇති ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඒ සඳහා පිළියමක් ලෙස වැලි මිලදී ගැනීම සහ අලෙවිය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයක් වන තාක්ෂණික සමාගමක් මඟින් සිදු කිරීමටත්, වැලි ගොඩ දැමීම සඳහා අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභීන් වෙත අවස්ථාව ලබා දී එමඟින් අඩු ආදායම්ලාභීන්ට සාධාරණ මුදලක් උපයාගෙන ඔවුන්ට සවියක් වන්නටත් අවස්ථාව සලසා දෙන බව පරිසර අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

    මීට අමතරව, ඉහළ ගිය වැලි මිල හමුවේ වැලි මිල ස්ථාවරකරණය සඳහා විධිමත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බවද වැලි කැණීමේදී බලපත්‍ර හිමින්ගෙන් වැඩි තැන්පතුවක් ලබා ගැනීම මඟින් එය වඩා විධිමත්කරණයට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

    මෙම රැස්වීමේදී මොණරාගල දිස්ත්‍රික්කයේ තණමල්විල, බුත්තල ප්‍රදේශයන්හි සිදුවන අනවසර වැලි ගොඩ දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී   ජගත් පුෂ්පකුමාර මහතා කමිටුවේ
    අවධානය යොමු කළ අතර එහිදී මහින්ද අමරවීර මහතා අමාත්‍යංශ නිලධාරීන්ට නිර්දේශ කර සිටියේ විශේෂ කණ්ඩායමක් එම ප්‍රදේශය වෙත ගොස් අනවසර ක්‍රියා සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීති මඟින් කටයුතු කර එ්වා තහනම් කිරීමට කඩිනමින් කටයුතු කර ඒ සම්බන්ධයෙන් වූ සම්පූර්ණ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙසය.

    උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන්ගේ අවධානයට ගැනුණු වෙනත් කරුණු අතර නැවත වන වගාව සඳහා සිවිල් ආරක්ෂක බලකාය වැනි ආයතන වල සහයෝගය ලබා ගැනීම, මන්නාරම් සහ තිරුක්කෝවිල් ප්‍රදේශයේ ඉල්මනයිට් කැණීම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම, සහ කළු ගල් සඳහා බලපත්‍ර නිකුත් කිරීම ආදී කරුණු සාකච්ඡාවට ලක්විණී.
    පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර,චාල්ස් නිර්මලනාදන්, තවරාජා කලෙයි අරසන්, මංජුලා දිසානායක සහ කපිල අතුකෝරළ යන මහත්ම - මහත්මීහු ද පරිසර අම‍ාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ උසස් නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya