මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධිකරණ පියස ව්‍යාපෘතිය සමාරම්භක උලෙළ 25 වන දින ඇරඹේ

    ජනවාරි 23, 2021

    කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ අධිකරණ ගොඩනැගිලිවල පවතින අබලන් තත්වයට විසදුම් වශයෙන් හා නඩු කටයුතු කඩිනම් කර නඩු ප්‍රමාදය අවම කිරීමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අතිගරු ජනාධිපතිතුමා ලබා දී තිබෙන ඉලක්ක කරා ගමන් කිරීමේ වැඩ සටහන යටතේ ‘’අධිකරණ පියස’’ නව සංකීර්ණය සදහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලිසබ්රි මහතාගේ ආරාධනයෙන්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් 2021.01.25 වන දින මුල්ගල තබනු ලබයි.


    මේ වන විටත් අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඊට නවීණ තාක්ෂණය (Digitilization) එක් කිරීම තුළින් එහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරිම යනාදී කරුණු ගණනාවක් සදහා අඩිතාලම දමා ඇති අතර, ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගෙන තිබේ.

    ගෙවී ගිය මාස 4ක කාලය තුළ නීති 40 ක් සංශෝධනය කිරීමට සංකල්ප පත්‍රිකාවක් සකස් කොට අමාත්‍ය මණ්ඩලය වෙත අනුමැතියට ඉදිරිපත් කොට ඇත.ඉතිහාසයේ පෙර නොවු විරූ ආකාරයට මහ ජනතාවට අධිකරණය තුළින් අනාගතයේ දී සහන ලබා ගැනීමට අවශ්‍ය වන්නා වු පසුබිම කෙරෙහි අවධානය යොමු කර ඇත.

    නව වසරේ මුල් මාසය තුළ ‘’අධිකරණ පියස’’ නව ගොඩනැගිලි සංකීර්ණය සදහා මුල්ගල තැබීම සිදු කරන අතර, අදියර හතරක් වශයෙන් ආරම්භ වන එම ව්‍යාපෘතිය සදහා දේශීය අරමුදල් රුපියල් මිලියන 16500 ක මුදලක් වැය කිරීමට නියමිතයි .මෙකී කර්තව්‍යන් අප රටේ අනාගතය වෙනුවෙන් සිදු කරන අතර, 1947 න් පසු මෙරට නීති පද්ධතිය නිසි පරිදි යාවත් කාලීන කිරීමට ද කටයුතු යොදා තිබේ.

    සෑම වසරකම අධිකරණ අමාත්‍යාංශයට ලබා දෙන රුපියල් මිලියන 4500 ප්‍රාග්ධන ප්‍රතිපාදනවලට අමතරව 2021 අයවැය ලේඛනය මගින් රුපියල් මිලියන 20,000 ක් යටිතල පහසුකම් ,ඩිජිටල්කරණය හා අනෙකුත් කාර්යයන් සදහා වෙන් කරන ලදී.

    සෞභාග්‍යයේ දැක්ම යටතේ පැවරී ඇති සුවිශේෂී කාර්යන්
    1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යාකූලතාවයන් ඉවත් කරමින් ජනතා පරමාධිපත්‍ය, ජාතික ආරක්ෂාව සියලු පාර්ශ්ව ආවරණය වන ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය සහ රටේ ස්වෛරීත්වය ආරක්ෂා වන පරිදි ව්‍යවස්ථා සංශෝධනය කිරීම.
    2. රටේ නීතිය ජාත්‍යන්තර නීතිය සමඟ ජාතික අනන්‍යතාවය හා ස්වෛරීත්වය රැකෙන පරිදි අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම.
    3. යල්පැනගිය නීති ක්‍රියා පටිපාටි හා අණපනත් සංශෝධනය සඳහා සියලුම ආයතන සම්බන්ධීකරණයෙන් වැඩ පිළිවෙලක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
    4. අධිකරණ ක්ෂේත්‍රයට අවශ්‍ය යහටිතල පහසුකම් හා මානව සම්පත් සංවර්ධනය හා අධිකරණ පද්ධතියේ ප්‍රමාදයන් වලක්වාලීම සඳහා නවීන තාක්ෂණයේ උපයෝගීතාවය ද යොදා ගනිමින් සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම.
    5. සිවිල් ආරවුල් අධිකරණය දක්වා නොගොස් විසදා ගැනීම සඳහා සමථ මණ්ඩල ක්‍රියාවලිය බලගැන්වීම.
    6. නීතිය ක්‍රියාත්මක කිරීමේ පටිපාටි හා යාන්ත්‍රණය පිළිබඳව ආදාළ පුද්ගලයන්ට අවශ්‍ය නවීන දැනුම හා තාක්ෂණික පුහුණුව ලබාදීම.
    7. අධිකරණ පද්ධතිය සහ ආයතන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම සදහා ඩිජිටල් තාක්ෂණය හදුන්වා දීම සඳහා තොරතුරු තාක්ෂණ ආයතනය සමඟ සම්බන්ධිකරණය. අධිකරණ

    පියස නව ව්‍යාපෘතිය අදියර 04 ක් යටතේ ක්‍රියාත්මක වෙයි.
     ඉදි කිරීම් ආයතනය -ඉන්ජිනේරු කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය
     අදියර 04 ක් යටතේ ව්‍යාපෘතිය දියත් වෙයි.
     ව්‍යාපෘතියේ මුළු වටිනාකම - රුපියල් මිලියන 16500 යි.
     මේ සදහා අක්කර 06 ක පමණ භූමි ප්‍රමාණයක් වෙන් ව ඇති අතර ව්‍යාපෘති කාලය වසර 03 ක් වේ.
     2021 ජනවාරි 25 වන දින ආරම්භව 2024 ජනවාරි 25 වන දින ඉදි කිරීම් අවසන් කිරීමට නියමිතයි.

    අදියර 04 ක් යටතේ ක්‍රියාත්මක වන අධිකරණ පියස නව ව්‍යාපෘතිය තුළින් පහත සදහන් ආකාරයේ පහසුකම් ඇති කරනු ලබයි.
    01.මහෙස්ත්‍රාත් අධිකරණ පිහිටුවනු ලබන අධිකරණ සංකීර්ණය.
     ස්ථාපිත කරනු ලබන මහෙස්ත්‍රාත් අධිකරණ ගණන-12
     නීති ආධාර කොමිෂන් සභා කාර්යාලය
     රෙජිස්ටාර් කාර්යාල
     ලේඛනාගාර

    02.අධිකරණ අමාත්‍යාංශය හා විනිසුරු පුහුණු මධ්‍යස්ථානය ස්ථාපිත කරනු
    ලබන සංකීර්ණය
     ගරු අමාත්‍යතුමාගේ සහ ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ කාර්යාලය
     අමාත්‍යාංශ කාර්යාලය
     සම්මන්ත්‍රණ කාමර (Conference Room)
    03.මහාධිකරණ හා දිසා අධිකරණ සදහා ඉදි කරනු ලබන සංකීර්ණය
     අපරාධ මහාධිකරණ -08
     වාණිජ මහාධිකරණ- 04
     සිවිල් අභියාචන මහාධිකරණ- 01
     දිසා අධිකරණ -10
     කම්කරු අධිකරණ- 06
     ක්වාසි අධිකරණ -02
     Pre Trail Court /Small Claim Court
    04.Quarters Complex
     විනිසුරු නිල නිවාස -40
     අමාත්‍යාංශ හා නිලධාරී නිල නිවාස -10
    වර්ථමාන අධිකරණ අමාත්‍යතුමා යටතේ මාස 04 ක් තුළ ළඟා කර ගත් ඉලක්ක

    1. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් විශේෂඥ කමිටුවක් පත්කොට කෙටුම්පත් කිරීම ආරම්භ කිරීම.
    2. අධිකරණ පද්ධතියට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ අංශයක් සහ විශේෂ ඒකකයක් ස්ථාපිත කොට ඇත.
    3. යල්පැන ගිය නීති හා අණ පනත් සංශෝධනය සදහා සිවිල් අපරාධ හා වාණිජ නීතිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධීකරණයේ හා අභියාචනාධිකරණයේ ගරු විනිසුරුවරුන් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් විශේෂඥ කමිටු හා උපදේශක කමිටු පත්කොට ක්‍රියාත්මක කිරීම.
    4. අධිකරණ පද්ධතිය ඩිජිටල් තාක්ෂණය යොදා නවීකරණය කිරීම සදහා සංකල්ප පත්‍රිකාව අවසන් කොට ඇති අතර පෙබරවාරි මාසය තුළ විවෘත තරඟකාරී මිල කැඳවීම් ආරම්භ කරනු ඇත. දැනටමත් වීඩියෝ තාක්ෂණය ඔස්සේ නඩු පවත්වාගෙන යාම ආරම්භ කොට ඇති අතර එකී පහසුකම් තෝරාගත් බන්ධනාගාර සදහා ද ලබා දී ඇත.
    5. යටිතල පහසුකම් සංවර්ධනය යටතේ අධිකරණ පියස ව්‍යාපෘතිය සමග රට පුරා නව අධිකරණ ශාලා 100 ක් ස්ථාපිත කරනු ඇත.
    6. සියලු අධිකරණ නවීකරණය කිරීම සහ පොදු පහසුකම් වැඩි දියුණු කිරීම සදහා ඇස්තමේන්තු සකස් කොට අවසන් කර ඇති අතර පළමු කාර්තුව තුළ ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරනු ඇත.
    7. සමථ ක්‍රියාවලිය මගින් විසදුම් ලබා දෙන ආරවුල් සංඛ්‍යාව 2021 වසරේ දෙගුණයකින් වැඩි කරනු ලැබේ.සමථ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා 2021 වර්ෂයේ සිට මුල්‍ය ආරවුල් විසදීම සදහා විශේෂ සමථ මණ්ඩල කොළඹ ,ගම්පහ, මහනුවර, අනුරාධපුර ,මොනරාගල යන දිස්ත්‍රික්ක 05 තුළ ස්ථාපිත කිරීමටත් උතුරු නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වන ඉඩම් ආරවුල් විසදීමේ විශේෂ සමථ මණ්ඩල යාපනය, කිලිනොච්චිය ,මන්නාරම ,මුලතිව්, වව්නියාව, අනුරාධපුරය යන දිස්ත්‍රික්කවල ද ආරම්භ කරනු ලැබේ.
    8. ණය සහන මණ්ඩලයේ ප්‍රාදේශිය ණය සහන මණ්ඩල 2021 පළමු කාර්තුව තුළ කොළඹ, ගම්පහ ගාල්ල ,කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ස්ථාපිත කරනු ලැබේ.,

    9. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරුන් සංඛ්‍යාව 07 කින් ද, අභියාචනාධිකරණයේ ගරු විනිසුරුවරුන් සංඛ්‍යාව 08 කින් ද ,වැඩි කරන ලද අතර (වසර 40 කට පසු 60 % වැඩි කරන ලදී.) වසර 05 තුළ අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන් සංඛ්‍යාව දෙගුණයකින් වැඩි කිරීම සිදු කරනු ඇත.
    10. සහජීවනය හා ප්‍රතිසන්ධාන වැඩපිළිවෙල නිශ්චිත කාල රාමුවක් තුල ක්‍රියාත්මක කොට අවසන් කිරීම සඳහා කටයුතු යොදා ඇත.
    11. ජාතික සමඟිය හා සංහිදියාව පිළිබඳ කාර්යාලය, හානිපූර්ණ කාර්යාලය, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය යන ආයතනයන්හි ක්‍රියාත්මක සැලසුම් සකස් කොට ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇති අතර එකී සැලසුම් ක්‍රියාත්මක කිරීම.
    12. මත් ද්‍රව්‍ය නිවාරණය, නෛතික ක්‍රියාමාර්ග , පුනරුත්ථාපනය ඇතුලත් ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම පාර්ශවකරුවන්ට නිශ්චිත වගකීම් පැවරෙන ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරනු ලැබේ.
    13. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා මසක් ඇතුලත ලබාදීම සදහා නිශ්චිත වැඩපිළිවෙලක් ස්ථාපිත කිරීම.
    14. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය 2021 වර්ෂය තුළ දෙගුණයකින් වැඩි කිරීමට ක්‍රියා කිරීම.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya