මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී වාරිමාර්ග ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අත්පත් කරගත් ඉඩම් සදහා වන්දි ලබා දිය යුතුයි - අමාත්‍ය චමල් රාජපක්ෂ

    නොවැම්බර් 25, 2020

    වාරිමාර්ග ව්‍යාපෘති සදහා ඉඩම් අත්පත් කර ගැනීමේදිී එම ඉඩම් සදහා වන්දි ලබා දීම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදුකළ යුතු බව වාරිමාර්ග අමාත්‍ය සහ අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වාරිමාර්ග කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට පාර්ලිමේන්තුවේ දී (23) දින එක් වෙමින් පැවසීය.

    ඉඩම් අහිමිවන ජනතාවගේ තෘප්තිය පිළිබදවත් අවධානය යොමු කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා නිරතුරුව ජනතාවට සාධාරණයක් ඉෂ්ට වන ලෙස වන්දි ලබා දී ඔවුන්ගේ ආශීර්වාදයද අදාල ව්‍යාපෘතියට ලබා ගත යුතු බව පෙන්වා දුන්නේය.මේ සදහා අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස ද අමාත්‍යවරයා අදාල අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

    උමා ඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමයේ ඉඩම් අහිමි වූ පවුල් 6000කට පමණ තවමත් වන්දි හිමි නොමැති බව මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අමාත්‍යවරයාගේ අවධානයට යොමුකළ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

    උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ සම්පූර්ණ වැඩකටයුතු ලබන වසරේ ජූනි වන විට අවසන් වන බවත් ඒඅනුව ලබන පෙබරවාරි වන විට මෙම ආයෝජනයේ රජයට ප්‍රතිලාභ ලැබෙන ප්‍රධාන අංගයක් වන විදුලි බල ජනනය මෙගා වොට් 120 ක ධාරිතාවකින් යුතුව ජාතික විදුලි බල පද්ධතියට එක්වීමට නියමිත බවත් මෙහිදී අනාවරණය විය.

    තවද මේ සදහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන අයවැය හරහා වෙන්වී ඇතිබවද මේ අනුව ලබන ජූනි වන විට වැව් 355කට ආසන්න ප්‍රමාණයකට ද ජලය සපයමින් මෙම ව්‍යාපෘතිය විවෘත වීමට නියමිතව තිබෙන බව අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා පැවසීය

    තවද වසර 06කින් නිමා කිරීමට යෝජිතව තිබූ කුඩා වැව් 1200ක් පෝෂණය කරන කි.මී 26 ක දිගින් යුතු උමග සහ කි.මී 94 දිගින් යුතු උතුරු මැද මහ ඇල ව්‍යාපෘතිය වසර 04කින් නිම කිරීමට කටයුතු කරන බව දිසානායක මහතා මෙහිදී පැවසීය.එම ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති ගණනාවකට මෙවර අයවැයින් ප්‍රතිපාදන වෙන් වී ඇති බැවින් ප්‍රමාද වී ඇති ව්‍යාපෘති රැසක්ද කඩිනමින් නිමා කරන බව හෙතෙම පැවසිය.
    තවද වසර පහක කාලයක් අක්‍රීයව පැවති චන්ද්‍රිකා වැව ඔස්සේ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිත කර්මාන්ත කලාපය සදහා ජලය සපයන ගිං සහ නිල්වලා ව්‍යාපෘතිය නැවත ආරම්භ කර වසර 2026-2027 වන විට අවසන් කිරීමටද කටයුතු කරන බව මෙහිදී අනාවරණය විය.ඝන මීටර් මිලියන 450ක් ජලය රැගෙන යන මෙම ව්‍යාපෘතිය මගින් හම්බන්තොට ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශ රැසක් සදහා ජලය සැප‍යීමට නියමිතය.

    එමෙන්ම මන්නාරම ඇතුලු ප්‍රදේශ රැසක පවතින උග්‍ර ජල හිගයට විසදුම් ලබා දෙන පහල මල්වතු ඔය ජල යෝජනා ක්‍රමයද කඩිනමින් නිම කරන බව අමාත්‍යාංශ ලේකම්තුමා පැවසීය.

    තවද වැව් ඇතුළු වාරිමාර්ග පද්ධති විශාල ප්‍රමාණයක් හමුදාව සහ ස්වෙච්ඡා සංවිධාන යොදාගනිමින් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේවන විටත් සිදු කරන බැවින් එම කටයුතු කඩිනම් කිරීමේ වැදගත්කම අමාත්‍යතුමා අවධාරණය කළේය. තවද උතුරේ ජනතාවට පවතින පානීය ජල ගැටලුවට විසදුම් දීම සදහා නව තාක්ෂණිය ක්‍ර‍මවේදයන් භාවිතා කරන බවත් එය වැඩිදියුණු කිරීමට පියවර ගන්නා බවද එතුමා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මේ අවස්ථාවට එක්වෙමින් තම ප්‍රදේශවල පවතින වාරිමාර්ග පද්ධතිවල ගැටලු සහ යෝජනා අමාත්‍යතුමාගේ අවධානයට යොමු කළ අතර ඒවා සදහා කඩිනමින් පියවර ගන්නා බව අමාත්‍යතුමා අවධාරණය කළේය.

    ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සහ මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆයිසාල් කාසිම්,නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ,නිමල් පියතිස්ස,එස් .ශ්‍රීධරන්,ආචාර්ය සුරේන් රාඝවන්,උදයන කිරිදියගොඩ,එස් .එම්. එම් මුෂාරෆ්,මර්ජාන් ෆලීල්, එස්.රාසමානික්කම් ,රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya