මැයි 15, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධික උෂ්ණත්වය- සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

    මාර්තු 04, 2020

     දිවයිනේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ  ඇතිවන අධික උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

    මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ ඇතිවන අධික උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් (03) පෙරවරුවේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.


    මෙම තත්ත්වය නිසා වැඩි අවදානමට ලක්වන පිරිස ලෙස කුඩා ළමුන්, වැඩිහිටි අය, දිගුකාලීනව හෘද රෝග, නොයෙකුත් නිදන්ගත රෝග වැනි රෝගාබාධවලින් පෙළෙන අය සහ එළිමහනේ රැකියාවල නියැලෙන අය හඳුනා ගෙන ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝගවල උත්සන්න විමක් අැති වීමට ඉඩකඩ ඇත.


    මෙම අධික උෂ්ණත්වය නිසා විශේෂයෙන්ම ආතතිය (Heat Stress), මස් පිඩු පෙරලීම (Heat Cramps), සිහි මූර්ජාව (Heat Stroke), ඇතිවීමට ඉඩකඩ ඇත. මෙවැනි අවස්ථාවලදී සියලු ක්‍රියාකාරකම්වලින් වැළකී ආවරණය සහිත සිසිල් ස්ථානයක විවේක ගැනීම, ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, මස් පිඩු පෙරලෙන ස්ථාන මත සිහින් පීඩනයක් යෙදීම, අධික දහඩිය දැමීම, ශරීර
    අප්‍රාණික බව, පිපාසය හෝ ක්ලාන්තය වැනි තත්ත්වයක් ඇතිවේ නම් ඇඳුම් බුරුල් කර පවන් සැලීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය.


    මෙවැනි කාලගුණික තත්ත්වයන් හමුවේ ලෝකයේ ඇතැම් රටවල මිනිසුන් මරණයට පවා පත්ව ඇති නිසා මෙම උවදුරෙන් මිදීම සඳහා දිගුකාලීන මෙන්ම කෙටිකාලීන පියවර අනුගමනය කළ යුතු බව මෙහිදී සාකච්ඡා කෙරිණ.


    කෙටි කාලීව විසඳුම් අතර නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම වතුර වෙනුවට ආදේශකයක් ලෙස භාවිත නොකිරීම, එළියට යනවිට කුඩයක් පාවිච්චි කිරීම, දෛනිකව වැඩිම උෂ්ණත්වයක් පවතින කාල පරාසයේදී (පෙ.ව.11.00 - ප.ව.3.00 ) අතර තොප්පියක් පාවිච්චි කිරීම, සැහැල්ලු කපු ලා පැහැති ඇඳුම් පාවිච්චි කිරීම, අවදානම් කණ්ඩායම් අවදානමක සිටී නම් ප්‍රථමාධාර ලබා දීම සහ තව දුරටත් අවදානම පවතීනම් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වීම ආදිය හැඳින්විය හැක.


    දිගුකාලීන විසඳුම් ලෙස මෙම අවදානම් තත්ත්වය හමුවේ ජල උල්පත් සිඳීයාමට ඉඩ ඇති හෙයින් ජලය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම, අනවශ්‍ය විදුලි පහන් නිවා දමමින්, වායු සමීකරණ යන්ත්‍ර භාවිතය අවම කරමින් විදුලිබලය අවම මට්ටමකින් පාවිච්චි කිරීම, කුණු පුළුස්සා දැමීම වෙනුවට ඒ සඳහා විකල්ප ක්‍රියා මාර්ග අනුගමනය කිරීම, අත්‍යාවශ්‍ය විධියට සම්පත් පාවිච්චි කරමින් සම්පත් නාස්තිය අවම කිරීම තුළින් මෙම උවදුරට තරමක් දුරට හෝ විසඳුමක් ලබා ගත හැකි බවට හඳුනා ගෙන ඇත.

    මෙහිදී ඕනෑම සෞඛ්‍ය ගැටලුවකට පිළිතුරු දීම සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 0710107107 යන දුරකථන අංකයට අමතන ලෙසත් විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් මඟින් භාෂා 3 න්ම මහජනතාවගේ සෞඛ්‍ය ගැටලු විසඳීමට කටයුතු කරන බවත් මෙහිදි මහජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

    ඩබ්.එම්.ශාන්තප්‍රිය
    අංශ ප්‍රධානී (ප්‍රචාරක)
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙනුවට

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya