අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණයකට යන වියදම ගොවීන්ගේ වී මිලදී ගැනීමට යොදවමු

    ජනවාරි 04, 2023

    - කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා 

    මෙවර මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ අටක වී වගා කර ඇති බවත්, පසුගිය යල කන්නයේ හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස්දාහක වාර්තා ගත වී වගාකිරීමක් සිදුකර ඇති බවත් කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තවදුරටත් පැවසුවේ, දැනටමත් යල කන්නයේ වී විශාල ප්‍රමාණයක් රජය සතු ගබඩාවල පවතින බවයි. එමෙන්ම මහ කන්නයේ වී වගා කිරීම සඳහා දැනටමත් රජය අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කර ඇති අතර, මේ මාසය තුළ එම අස්වැන්න ලැබීමට නියමිතය.

    මෙහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, මෙවර ගොවිජනතාවට ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට වී මිලදී ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිතුමන්ද තම අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇති බවයි. ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව පැවසූ ඒ මහතා, කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මේ බව මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් අදාළ අංශවලට දැනුම්දී ඇති බව ප්‍රකාශ කළේය. එම මුදල් ලැබුණු විගස ගොවින්ට සාධාරණයක් වන පරිදි වී සඳහා මිලක් නියම කරමින් වී මිලදී ගැනීමට කටයුතු කරන බවද පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ “වී මිලදී ගැනීමට තිබෙන අවස්ථාවේ ඊට වඩා ප්‍රමුඛ කාර්යන් විදිහට සමහර විට විපක්ෂය කියන්නෙ ඡන්ද තියන්න කියා.

     

    මැතිවරණ කොමිෂම ම කියනවා බිලියන දහයක් මේ සඳහා වැයවන බව. අපේක්ෂකයින් වියදම් කරන ප්‍රමාණයත් එක්ක මෙය බිලියන තිහ හතළිහක්වත් වෙන්න ඉඩ තියෙනවා. මෙම මැතිවරණය තියන්න වැයවන බිලියන දහය නැත්නම් මිලියන දහදාහ අපිට ලබාදුන්නොත් අපි සාධාරණ මිලකට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට කටයුතු කරනවා. මම දැක්කා මුදල් අමාත්‍යාංශයේ නිලධාරියෙකුත් කියල තියෙනවා ඒ අයට මුදල් දීමේ යම් අපහසුතාවයන් පිළිබඳව. මේ නිසා අපි කල්පනා කරන්න අවශ්‍යයි හදිසි මැතිවරණයකට වැඩිය මේ රටේ ගොවි ජනතාවගේ ප්‍රශ්නයත්, අනෙක් ජනතාවගේ ප්‍රශ්නත් පිළිබඳව. මැතිවරණ කල් දමන්න අපි යෝජනා කරන කණ්ඩායමක් නොවෙයි.

    මේ වෙලාවේ ආණ්ඩු පෙරළියක් හෝ ඒවගේ සිද්ධියක් ඇති වෙන මැතිවරණයකුත් නෙවෙයි මේක. ඒවගේම මැතිවරණයේදී අපේක්ෂකයෝ 8000ක් පමණ මන්ත්‍රීවරු පත්වෙන මැතිවරණයක් මේක. ඒ නිසා මෙම කාරණය දවස් ගාණකට හෝ මාස ගාණකට හෝ ප්‍රමාද කරල ඒ කියන්නේ නොතියම නොවේ, අපිට මේ වෙලාවේ ප්‍රමුඛතාවයක් ලෙස වී මිලදී ගැනීම සඳහා මේ මුදල ලබාදෙනවා නම් අපිට ගොවිජනතාවත් ආරක්ෂා කරගෙන පාරිභෝගිකයින්ට සාධාරණ මිලකට සහල් ලබාදීමේ හැකියාව තියෙනවා.

    ඒ වගේම මැතිවරණයක් ඉල්ලන්නෙ මම දන්නවා දේශපාලන පක්ෂ මිසක් මහජනතාව නොවේ. මහජනතාව ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ තමන්ගේ ජීවන වියදම අඩුකරන්න. ගොවියා ඉල්ලන්නෙ ගොවියාගේ නිෂ්පාදන සඳහා මිලක් දෙන්න. මේ වෙලාවේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීම අප සැමගේම ප්‍රධාන කාර්යභාරය විය යුතුවේ. එයට ආණ්ඩුවට වගේම විරුද්ධ පක්ෂයටත් වගකීමක් තියෙනවා කියල මම විශ්වාස කරනවා.

    එසේම මම ජනාධිපතිතුමාගෙන් මෙන්ම අමාත්‍ය මණ්ඩලය සහ මුදල් අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතන වලින් මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට මේ අවස්ථාවේ ප්‍රමුඛතම කාර්යය බවට මේ ගොවීන්ගේ අස්වැන්න මිලදී ගන්න කියල. ඒ සඳහා මුදල් ලබාදෙන්න. අනෙකුත් ඔය ඡන්ද වගේ දේවල් පසුව කර ගන්න පුළුවන්. පළමු අවශ්‍යතාව සම්පූර්ණ කරන්න සියලු ම දෙනාගේ කැපවීම මේ අවස්ථාවේදී ගොවිජනතාව වෙනුවෙන් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. රටේ සමස්ත සහල් පරිභෝජනය කරන ජනතාවගෙනුත් මම ඒ ඉල්ලීම කරනවා. ප්‍රමුඛතාව වී මිලදී ගැනීම වෙනුවෙන් ලබාදෙන්න. පසුගිය කාලයේ සිදුවූ සිද්ධිය ඇති නොවන්න වගබලා ගන්නා ලෙසද සියලු ම පාර්ශව වලින් ඉල්ලා සිටිනවා.
     

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya

    Please publish modules in offcanvas position.