එහිදී ක‍්‍රිස්තු වර්ෂ පළමුවන හා දෙවන සියවසට පමණ අයත් විය හැකි ඉදිකිරීම් ලක්‍ෂණ
සහිත නටඹුන් ගොඩනැගිල්ලක් පාදාගෙන ඇත. දැනට අනාවරණය වී ඇති සාධකවලට
අනුව මෙය මහල් කිහිපයකින් යුත් ආවාස ගෘහයක් විය හැකි බව කැණීම් ව්‍යාපෘතියේ
ස්ථානභාර නිලධාරී පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩවිතාන මහතා පවසයි.
එසේම මීටර් 13.5ක් දිගින් හා මීටර් 11ක් පළලින් යුත් මෙම ගොඩනැගිල්ල සිතුල්පව්ව
ආරාම සංකීර්ණයට අයත් පැරණි ගොඩනැගිලි අතරින් එකක් බව ද ඒ මහතා පැවසීය.
මීට අමතරව රන් ආලේපිත මැටි බඳුන් කැබලි, විවිධ වර්ණයන්ගෙන් යුත්
මැටි බඳුන් කැබලි, පැරණි පෙති උළු, පැරණි කාසි හා පැරණි යකඩ ඇණ ආදිය ද මෙම
ගොඩනැගිල්ල පාදා ගැනීමේ කටයුතු අතරතුර දී අනාවරණය කරගෙන ඇත. රන් ආලේපිත මැටි බඳුන් ලංකාවෙන් හමු වී ඇති ප‍්‍රථම අවස්ථාව මෙයයි. කැණීම් කටයුතු අවසන් වූ වහාම මෙම ගොඩනැගිල්ල සංරක්‍ෂණය කිරීමට ද නියමිතය.
වංශකතා ගත සාධකවලට අනුව රහතන් වහන්සේලා දොළොස්දහසක් වැඩසිටි සිතුල්පව්ව රජමහා විහාරයේ ඉතිහාසය දෙවන පෑතිස් රජ දවස දක්වා දිවයයි. මහාවංශයේ සඳහන් වන පරිදි ක‍්‍රිස්තු වර්ෂ පළමු වන සියවසේ දී වසභ රජු විසින් සිතුල්පව්ව ප‍්‍රධාන පර්වතයේ ස්ථූප 10ක් ඉදිකර ඇත. එම මූලාශ‍්‍රගත සාධක තහවුරු කරමින් වර්තමානය වන විට ප‍්‍රධාන ස්ථූපය ඇතුළු ස්ථූප 7ක පමණ සාධක අනාවරණය කරගෙන ඇත. ඊට අමතරව පූර්ව බ‍්‍රාහ්මී ලිපි සහිත ලෙන් විශාල සංඛාවක් හා ගොඩනැගිලි විශාල ප‍්‍රමාණයක සාධක මෙම ආරාම සංකීර්ණය පුරා විසිරී පවතී. ඒ අතර පිළිමගෙය, බෝධිඝරය, උපෝසථඝරය හා ප‍්‍රධාන ලෙන් වැදගත් වේ.
DB