අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 ජාතික “කලාප්‍රසාදිනී“ සංස්කෘතික ප්‍රදර්ශනය

    ඔක්තෝබර් 03, 2016
    ශ්‍රී ලාංකේය සංස්කෘතිය හා කලාව පෝෂණය කර  ආරක්ෂා කිරීමේ රජයේ ජාතික ප්‍රතිපත්තිය අනුව දේශීය සංස්කෘතියේ හා කලාවේ උන්නතිය හා ප්‍රගමනය පාදක කොට ගෙන සංස්කෘතිකාංග හා කලාංග ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ අස්පර්ෂ හා ස්පර්ෂ උරුමය ප්‍රකට කෙරෙන නිර්මාණ හා කලා ප්‍රදර්ශනය 2016 ඊයේ (02) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ දී ආරම්භ විය.
     
    මෙම ප්‍රදර්ශනය ලබන 05 දා දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 10.00 දක්වා බත්තරමුල්ල, “අපේගම“ පරිශ්‍රයේ දී පැවැත්වේ.
     
    මෙම ප්‍රදර්ශන සඳහා ප්‍රදර්ශන කුටි 150 කට අධික ප්‍රමාණයක් ඇතුලත් වන අතර එහි  දී  දුම්බර පැදුරු රාට නිර්මාණය, සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ නිෂ්පාදනය, රේන්ද හා බීරළු නිෂ්පාදනය, හේන් ගොවිතැන් හා බැඳුනු සංස්කෘතිකාංග, ලී කැටයම් නිර්මාණ, පාරම්පරික වෙද වෙදකම්, වෙස්මුහුණු නිෂ්පාදනය, සේසත් නිර්මාණය, ලාක්ෂා නිර්මාණ, පුස්කොළ පොත් ග්‍රන්ථාරූඪ කිරිම, කම්මල් කර්මාන්තය, ධිවර කර්මාන්තය, කුඹල් කර්මාන්ත නිෂ්පාදන, චිත්‍ර හා කැටයම් නිර්මාණ ආදී ශ්‍රී ලංකාවට ආවේණික උරුමයන් නිෂ්පාදනය කරනු ලබන ආකාරය සියැසින්ම දැක ගැනීමට හැකිවන සේ  ප්‍රදර්ශන කුටි ඉදිකර ඇත.
     
    මීට අමතරව දරුවන් සඳහා චිත්‍ර වැඩමුළු හා වෙනත් විනෝදාත්මක හා අධ්‍යාපනික වැඩසටහන්, පොත් ප්‍රදර්ශන, සාහිත්‍ය දේශන,  සංවාද මණ්ඩප, නාට්‍ය රසවින්දන වැඩසටහන්, කවිමඩු, ජන ගී ප්‍රසංග, ටවර්හෝල් ගී ප්‍රසංග, නාට්‍ය  ප්‍රදර්ශන, රාජ්‍ය සංගීත කණ්ඩායමේ හා නර්තන කණ්ඩායමේ ප්‍රසංග, ත්‍රිවිධ හමුදා හා පොලිස් ප්‍රසංග, 60-70 දශකයේ සංගීත ප්‍රසංග මෙන්ම ලංකාවේ සියලුම ජනවර්ගවල සම්ප්‍රදායන් හා විශේෂ ප්‍රසංග ආදිය දිනපතා පැවැත්වේ.
     
    එසේම  රූපවාහිනී මාධ්‍ය හා ගුවන් විදුලි මාධ්‍ය භාවිතය පිළිබඳ ප්‍රායෝගික ක්‍රියාකාරකම් අත්විඳීමට සහභාගිවන්නට ඉඩකඩ ලබා දී ඇති අතර එහිදී සජීවි ගුවන්විදුලි වැඩසටහන්වලට සහභාගිවිමට අවස්ථාව ද සළසා ඇති අතර රාත්‍රී කාලයේ දී සාම්ප්‍රදායික ශාන්තිකර්ම පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.
     
    අවසන් උත්සවය ඔක්.06දා ප.ව. 5.00 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංස්කෘතික මධ්‍යස්ථාන සිසු සිසුවියන් ඉදිරිපත් කරන ‘‘කාලනදී“ නෘත්‍ය කාව්‍ය ප්‍රසංගයෙන් අවසන් වෙයි.
     
    මෙම ප්‍රදර්ශනය නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇති අතර රථවාහන නැවතීමේ පහසුකම් ද සලසා ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya