මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය පිරිස්වලට පිං පැමිණවීමේ වැඩසටහනක්

මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය පිරිස්වලට පිං පැමිණවීමේ වැඩසටහනක්
  • SocialShare:

පසු ගියදා තායිලන්තයේ සහ මියන්මාරයේ ඇති වූ භූමි කම්පාවෙන් අපවත් වී වදාළ ගරුතර මහා සඟරුවණට සහ මියගිය දෙරටෙහි වැසියනට පිං අනුමෝදන් කිරීම සහ විපතට පත් දෙරට ජනතාවට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් මතක වස්ත්‍ර පූජා කොට පැන් වඩා පුණ්‍යානුමෝදනා කිරීම සහ සෙත් පිරිත් සජ්ඣායනා කොට ආශිර්වාද කිරීමේ පිංකමක් පසුගිය දා අනුරාධපුර පූජා නගරයේ බුරුම පන්සලේ දී පැවැත්වීණි.


අනුරාධපුර මධ්‍යම නුවරගම් පලාත ශාසනාරක්ෂක මණ්ඩලය , මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුරාධපුර ප්‍රාදේශිය සංඝ සභාව , ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අනුරාධපුර දිස්ත්‍රික් සංඝ සභාව ඇතුළු පාර්ශව එක්වයි, මෙය සංවිධානය කර තිබුණේ.
මෙම අවස්ථාවට අනුරාධපුර සිරි සඟ බෝ භාවනා මධ්‍යස්ථානය හා නෙල්ලිකුලම පංච සතික ශ්‍රාවක චාරිකාරාමාධිපති මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රි කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා අනුනායක අතිපූජ්‍ය අලුත්ගම බෝගමුවේ , සද්ධාරංසි නායක හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපාධ්‍යාය පූජ්‍යකර වඩිගවැවේ විපස්සී නාහිමි, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සද්ධර්ම වංශ පාර්ශවයේ උතුරු මැද පලාතේ ප්‍රධාන සංඝ නායක අනුරාධපුර දිස්ත්‍රික් සංඝ සභාවේ ලේකම් සහ මධ්‍යම නුවරගම් පලාත ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති පූජ්‍ය හල්මිල්ලෑවේ සද්ධාතිස්ස නාහිමි, ගෝනගල ඥානාලෝක නාහිමි , ප්‍රධාන ත්‍රෛයි නිකායික ගරුතර මහා සංඝ රත්නය ද, මධ්‍යම නුවරගම් පලාත ප්‍රාදේශිය ලේකම්, දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක මන්ජුල සෙනෙවිරත්න . එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සංවර්ධන නිලධාරීන් දෙපල, පූජා භූමි සංවර්ධන නිලධාරී, ඉසුරුමුණිය ග්‍රාම නිලධාරී , දහම් පාසැල් ගුරු භවතුන් සහ දෙමා පියන් එක්ව සිටියහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුරාධපුර ප්‍රාදේශීය සංඝ සභාවේ නිලධාරී නායක ස්වාමින් වහන්සේ ලා ද සහභාගි වූහ .