නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණය අගමැතිතුමන් අතින් විවෘත වු වගයි

    ජනවාරි 11, 2017
    ගම්පහ වෝඩ් සිටි සාප්පු සංකීර්ණය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි. 
    එහිදී අදහස් දැක්වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා , 
     
    සණස මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට තිබෙන්නේ එකම වයසක්. 1978 වසරේදී ජෝෂප් මයිකල් පෙරේරා ඇමතිතුමා මෙන්ම මමත් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමන් හමුවට ගොස් කොළඹ දිස්ත්‍රික්කය විශාල වැඩි හෙයින් ගම්පහ දිස්ත්‍රික්කය වෙන් කර දෙන ලෙසත් වෙළෙඳ කලාප සමග ගම්පහ දියුණු කරන බවත් පැවසුවා. එවිට එම පළාතේ අගනුවර විය යුත්තේ මීගමුවද ගම්පහද යන ප්‍රශ්නය පැන නැගුනා. ගම්පහ ප්‍රධාන නගරය ලෙස නම් කරන ලෙස අප ඉල්ලා සිටියා. කිරිවන්දෙනිය මහතාත් මෙහි පැමිණ සණස ව්‍යාපාරය ඇති කළේ ඒ යුගයේදීය. 
     
    දැන් සණස වගේම ගම්පහත් දියුණු වෙලා. එකක් ලංකාවේ විශාලතම ජනාකීර්ණ දිස්ත්‍රික්කය බවට පත්වෙලා. අනෙක පොදු ජනතාවගේ ඉතිරිකිරීම් සහිත ඉතා සාර්ථක සංගමයක් බවට පත් වෙලා. අද මෙම වෙළෙඳ සංකීර්ණයේ එක්වී ඇත්තේ ඒ අංශ දෙකයි. ගම්පහ දිස්ත්‍රික්කයට නියම වෙළෙඳ සංකීර්ණයක් පළමු වතාවට ලබාදී තිබෙනවා. මෙහි පළමු අදියරේ සාප්පු සංකීර්ණ 200කුත්, දෙවැනි අදියරේදී සංකීර්ණ 300කුත් ඇති බව අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිතුමා පැවසුවා. මෙහි ශක්තිමත් මධ්‍යම පාන්තික පිරිසක් බිහිවුනේ අප  1977 වසරේ විවෘත ආර්ථිකයක් ඇතිකළ පසුවයි. විවෘත ආර්ථිකයක් නැතිනම් මෙවැනි දියුණුවක් නැහැ. 1977 ට පෙර ගම්පහ පැවති තත්වය පැරැන්නන් දන්නවා. අද විවෘත ආර්ථිකය නිසා විශාල ගොඩනැගීමක් සිදුවී තිබෙනවා.
     
    වත්මන් ලංකාවේ ධනවත්ව සමාගම කුමක්ද ? ජෝන් කීල්ස් ද? හේලිස්, ඇක්සස් මේ එකක්වත් නොවෙයි. ධනවත්ම වාණිජ සංවිධානය වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. එහි වත්කමෙන් මේ සමාගම් සියල්ල මිලදී ගැනීමට ශක්තියක් තිබෙනවා. සේවක බාරකාර අරමුදල ඊළඟට තිබෙනවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුව රාජ්‍ය අංශයෙන්ද රාජ්‍ය නොවන අංශයෙන්ද සණස ව්‍යාපාරයද ශක්තිමත් ආයතන ලෙස හදුන්වාදිය හැකියි.prime 3
     
    මේ සියල්ල ඇති වුනේ විවෘත ආර්ථිකයක් සමග ජනතාව අතට ලැබුණු මුදල් නිසායි. එදා අප  මහවැලිය ඇරැඹුවා. එයින් ව්‍යාපෘති රාශියක් ඇරඹුණා. වෙළෙඳ කලාප දෙකක් ඇති කළා. අගනුවරක් ඉදිකළා. රටපුරා නිවාස ඉදිකළා. මහපොළ ශිෂ්‍යත්ව ලබා දුන්නා. අපට එවැනින වේගවත් ගමනක් අවශ්‍ය වුණා. නිදහස නොදුන් රටවල් අතර දියුණු වීමේ තරඟයෙන් අප ඉදිරියෙන් සිටියා. එහෙත් වසර තිහක බෙදුම්වාදී යුද්ධය නිසා ශීඝ්‍ර සංවර්ධන ගමන කැඩුනා. යුද්ධය අවසන් වූ පසුවත් වසර පහක් අප විශාල ලෙස ණය ගත්තා. යුද්ධ කාලයට වඩා දෙගුණයක් ණය ගත්තා. ණය බර නිසා අප වැටුණා. එක් අතකින් යුද්ධය නිසා සංවර්ධන වේගය කැඩුනා. අනෙක් අතින් ණය බරින් රට කඩා වැටුණා.
     
    එතැනින් මේ රට ගොඩ ගෙන තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලබා දෙන්න, හොඳ අධ්‍යාපනයක්, අනාගතයේ හොඳ රැකියවක් ලබා දෙන්න අවශ්‍ය කරන දියුණු ආර්ථිකයක් උදා කරගැනීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් සමග එක්ව අප ආණ්ඩුවක් ඇතිකර තිබෙනවා. දැන් අප ශීඝ්‍ර සංවර්ධනයක් අරඹා තිබෙනවා. සංවර්ධනය ආණ්ඩුවේ යුතුකමක් පමණක්දැයි ලලිත් ජයසූරිය මහතා විමසුවා. එය ආණ්ඩුවේ යුතුකමක් පමණක් නොවේ. සංවර්ධනය ඇති කිරීම සඳහා සියලූම දෙනා එකතු විය යුතුයි. සීඝ්‍ර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ අරමුණ කුමක්ද ?
     
    පාරිභෝගික සමිතියක් ඇති කිරීම, මධ්‍යම පන්තිය ව්‍යාප්ත කිරීම, හොඳ ආදායම් ලබාදීම අපේ අරමුණයි. ඊට නාගරික ආර්ථිකයක්, ග්‍රාමීය ආර්ථිකයක් ශක්තිමත් කළ යුතුව තිබෙනවා. ඒ වැඩකටයුත්ත කිරීම සදහා ආණ්ඩුවක් දේශීය සහ විදේශීය ආයෝජකයනුත්, අපේ ජනතාවගේ ඉතිරිකිරීම්, මුදල් එකතු කරගෙන අපි සැවොම හවුල්වී මේ ගමන යා යුතුයි. ආණ්ඩුව ඒ සදහා අනුගමනය කරන පිළිවෙල කුමක්දැයි පැහැදිලි කළ යුතුයි.
     
    සංවර්ධනය කොහිදැයි වසරක් ගතවූ පසුව ඇතැමුන් විමසුවා. පක්ෂ දෙකම එක්වූ නමුත් සංවර්ධනයක් නැති බව පැවසුවා.
    අප සංවර්ධනයට  අඩිතාලම් දමා තිබෙනවා. අපේ ආර්ථිකය දෙස අවධානය යොමු කළ විට ගෙවුම් ශේෂයේ විශාල ප්‍රශ්න තිබුණා. ආනයන භාණ්ඩ සදහා ගෙවීමට අපනයන ආදායම ප්‍රමාණවත් නැහැ. එසේ නම් මෙරටට ආයෝජන ගෙන ඒම සදහා අඩිතාලමක් සකස් කළ යුතුව තිබෙනවා. 
     
    අප උත්සාහ කළේ ඒ අඩිතාලම සකසන්නයි. පළමුවෙන්ම දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් මෙහි කැදවාගත යුතුයි. එමෙන්ම මෙරට ණය බර නිසා අපේ ආදායමෙන් වියදම පියවා ගන්නට නොහැකි වුණා. ආණ්ඩුවේ දෛනික වියදමට මුදල් තිබුණේ නැහැ. අඩු ගණනකින් රජයේ ආදායම වැඩිකර ගත යුතුයි. අප ක්‍රියාත්මක කර ඇත්තේ මේ වැඩසටහනයි. 
     
    අප මේ වනවිට සංවර්ධන ව්‍යාපාරයේ පළමු පියවර ගෙන තිබෙනවා. ජපානයේ සුන් සු ගේ යුද උපක්‍රම පිළිබඳ සිංහල පරිවර්තනයක් මම අද පිළිගැන්වූවා. එම ග්‍රන්ථයෙන් පළමුවෙන්ම කියන්නේ යුද්ධයට සූදානම් වන ලෙසයි. හරියට උපක්‍රම යෙදුවොත් සටන් නොකර යුද්ධය ජයගත හැකි බව එහි දැක්වෙනවා.
     
    සංවර්ධන යුද්ධය ජය ගැනීම සඳහා අපත් පළමුවෙන් කළේ උපක්‍රම යොදා ගැනීමයි.  ජාතික ආණ්ඩුවක් හැදුවත් කළේ කුමක්දැයි කියමින් මේ අය කෑ ගැසුවා. දැන් අප සංවර්ධනය පටන්ගෙන තිබෙනවා. ඇයි මේ සංවර්ධනය කරන්නේ කියා ඔවුන් දැන් අපෙන් අහනවා.
    විශාල සංවර්ධනයක් කිරීම සඳහා ලංකාවේ මුදල් ප්‍රමාණවත් නැහැ. ලංකාවේ  විශාලතම ආයෝජකයන්ගේ මුදල් යෙදුවත් දියුණුවක් ඇති කිරීම සදහා එය ප්‍රමාණවත් නැහැ.
     
    අපට විදේශ ආයෝජන අවශ්‍යයි. විදේශ මුදල්, දැනුම අවශ්‍යයි. ඒවා යොදාගත යුතුයි. ඉදිරියට ගමන් කළ යුතුයි. 1977 වසරේ පේ‍ර්මදාස අගමැතිතුමා සමග මා චීනයට ගියා. එදා චීනයේ මේ දියුණුව තිබුණේ නැහැ. එකල චීන ජනතාව මාඕ සේතුංගේ ඇඳුමක් ඇදගෙන සිටි හැටි අපට මතකයි. බීජිං නගරයේ බටහිර මට්ටමේ එක ආපන ශාලාවක්වත් තිබුණේ නැහැ. 
     
    අද චීනයේ විශාල සංවර්ධනයක් සිදුවී තිබෙනවා. ඒ ඇයි. ඔවුන් පටන්ගත් සංවර්ධනය කැඩුනේ නැහැ. වියට්නාමය, ඉන්දියාව සීඝ්‍ර සංවර්ධනයකට ගමන් කර තිබෙනවා. අප සංවර්ධන වැඩසටහන කරන්නේ ඒ සියලූ දෙනා සමග සාකච්චා කරලයි.
    සම්පූර්ණ බස්නාහිර පළාතම විශාල නගරයක් බවට පත් වෙනවා. බස්නාහිර මහා නගර සංවර්ධනය සදහා යොදාගත් සිංගප්පූරු සමාගම ඉන්දියාවේ අමරාවති නගරය සකස් කිරීමටත්, යොදා ගන්නා බව ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රධාන අමාත්‍යතුමන් අප සමග පැවසුවා. 
    වැඩිම දියුණුව වන්නේ මේ ප්‍රදේශයටයි. මධ්‍යම  අධිවේගි මාර්ගය මෙහි සිට කොස්සින්නට ගමන් කරනවා. එහි විශාල නගරයක් නිර්මාණය වීමට නියමිතයි.
     
    කොස්සින්නේ සිට පොතුහැරටත්, රඹුක්කනටත්, ගලගෙදර සිට මහනුවරටත්, මධ්‍යම අධිවේගී මාර්ගය ඉදි කෙරෙනවා. එමෙන්ම මහනුවර නගරය විශාල කිරීම සදහා ජපානයේ උපකාරය අපට තිබෙනවා. එසේ නම් පැයක් ඇතුලත මෙහි සිට මහනුවරට ගමන් කළ හැකියි. සණස ගම්පහ සාප්පු සංකීර්ණ හැදු අයුරින්ම දියුණුවට පත්වන සෙසු ප්‍රදේශවලත් සාප්පු සංකීරණ ඉදිකළ හැකියි. මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අපට ආයෝජන අවශ්‍යයි. 
     
    දකුණේ හම්බන්තොට නොදියුණුම ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයටත් විශාල ආයෝජන ඇති වෙනවා. මොණරාගල විශාල දියුණුවක් ඇති වෙනවා. හම්බන්තොට වරාය පසුගිය රජයෙන් ඉදිකළා. එය ආණ්ඩු කීපයක්ම යෝජනා කළා. මමත් යෝජනා කළා. නමුත් වරාය ඉදිකිරීමෙන් එහාට යාමට අපට නොහැකි වුණා. සිතූ පරිදි ණය ගෙවීමට නොහැකි වුණා. ආයෝජකයන් ආවේ නැහැ. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වූ පසුව ඒ මහතාත් මමත් චීනයට ගොස් කතා කළා. දැන් විශාල වැඩසටහනක් එහි ආරම්භ කිරීමට නියමිතයි. ඊළඟ වසර පහළොව ඇතුලත වරාය මෙන්ම මත්තල ගුවන් තොටුපොළ ලාභ ලබන ආයතන බවට පත් කරනවා. එවිට සිදු වන්නේ කුමක්ද?
    මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල සංවර්ධන තීරුවක් ඇති කරනවා. නිරිතදිග සංවර්ධන තීරුව ලෙස එය නම් කර තිබෙනවා. එම කලාපයේ ගුවන් තොටුපොළ දෙකක් සහ වරායන් දෙකක් තිබෙනවා. එහි මධ්‍යයේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට නියමිතයි. කොළඹ වරායෙන් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් වර්තමානයේ සංවර්ධනය ගලා එනවා. මත්තල සහ හම්බන්තොට වරාය සංවර්ධනය කළ විට ආයෝජන තවත් වැඩි වෙනවා. එහි තෙල් පිරිපහදු ඉදිකිරීමට අප දැන් සාකච්ඡා කරනවා. පළමු ආයෝජකයා ලෙස අප ලාංකිකයෙකු අනුමත කර තිබෙනවා. ඒ සිමෙන්ති කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහායි. එමෙන්ම චීන ආයෝජකයන්ද එහි පැමිණෙනවා. තවත් තෙල් පිරිපහදුවක් ඉදි කිරීමටත් නැව් තටාංගනයක් සඳහාත් ඉල්ලූම් කර තිබෙනවා. තවත් විශාල ආයෝජකයන් පැමිණීමට නියමිතයි. 
    අප වෙළඳ කලාප කීපයක් ඇති කළා. තරුණ තරුණියන් සඳහා අප සුළු රැකියා නොව වෙළඳ ආදායමක් ලැබිය හැකි රැකියා ලබාදෙනවා. මධ්‍යම පන්තිය ව්‍යාප්ත කරනවා. එමෙන්ම කඩා වැටුණු ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරනවා. මේ දියුණුවත් සමඟ කෘෂිකර්මය අතහරින්නැයි මා කියන්නේ නැහැ. 
     
    අප නවීන කෘෂිකර්මාන්තය ද හඳුනාගත යුතුයි. මල් වගා කර පිටරට යැවීමට යොමු විය යුතුයි. රැකියා ආදායම් මාර්ග සෙවිය යුත්තේ ඒ අංශ වලිනුයි. යුද්ධය නොමැතිව මහවැලි ව්‍යාපාරය ඉදිරියට ගෙනගියා නම් අද ත්‍රිකුණාමලය විශාල නගරයක් බව කිව යුතුයි. යුද්ධය නිසා එය සිදුවුනේ නැහැ. 
     
    සිංගප්පූරුව සමඟ එක්ව එම දියුණුව ගැන සැලසුම් කරන්නට අද අප කතා කරමින් සිටිනවා. ඉන්දියාව සහ ජපානය සමගත් සාකච්ඡා කරනවා. ත්‍රිකුණාමල සංවර්ධනයත් ජනාධිපතිතුමන්ගේ පුබුදමු පොළොන්නරුව වැඩසටහන් එකතු කළ විට විශාල සංවර්ධනයක් ඇති වෙනවා. සංචාරකයන් සඳහා අවශ්‍ය තරම් වෙරළ තීරයක් තිබෙනවා. එහි හෝටල ඉදිකළ හැකියි. මේ සංචාරක කලාපවල සේවය කරන්නේ ලාංකිකයන්.
     
    කුලියාපිටිය, බිංගිරිය ප්‍රදේශවල අක්කර 700 ක පමණ වෙළෙඳ කලාපයක් ඉදිකිරීම පිළිබඳව අප සාකච්ඡා කරනවා. කළුතර තවත් සංවර්ධන කලාපයක් ඇති කරනවා. ඉරනවිල ඇමරිකන් හඬ සංවිධානය නැවත රජයට බාරදුන් පසුව එහි අක්කර 400 ක තවත් විශාල සංචාරක සංකීර්ණයක් ඉදිකරනවා. මේ පසුබිමෙන් ඉදිරියට ගමන් කිරීමට නම් පෞද්ගලික ආයෝජකයන් සොයාගත යුතුයි. විශාල මෙන්ම කුඩා සමාගම් බිහිවිය යුතුයි. ලක්‍ෂ 10, ලක්‍ෂ 20 ආදී මුදලකින් ආයෝජන අරඹන අය තව අවුරුදු දහයකින් කෝටිපතියන් වේවි. 
    සියලූම දෙනාම එක්වන්නැයි කියන්නේ ඒ දියුණුව ඇති කිරීම සඳහායි.
     prime 2
    අප ජාතික ආණ්ඩුව බිහි කළේ ඇයි? ඊළඟ මැතිවරණයේදී අප සියලූ දෙනා එකට එන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර තිබූ සටන අප කවුරුත් දන්නවා. කවුරු ජයගන්නත් අපේ ප්‍රතිපත්ති වෙනස් නොවන බව ආයෝජකයන් වටහාගත යුතුයි. ලංකාවේ තිබූ ලොකුම දුර්වලකම ප්‍රතිපත්ති වෙනස් වීමයි. ස්ථාවර ප්‍රතිපත්තියක් ඇති කිරීමේ වාසිය මේ රටේ අනාගත පරපුරටයි. ඒ වැඩසටහන සඳහා සණස වැනි ව්‍යාපාරද එක්විය යුතුයි. 
     
    සණස වැනි ව්‍යාපාර විශාල වැඩ කොටසක් කර තිබෙනවා. අනාගතයේත් ඒ සේවය කරාවි. 
    මේ දියුණුව ස්වල්ප දෙනෙකුට කෝටිපතියන් වීමට නොවේ. අපේ අරමුණු මධ්‍යම පාන්තිය ව්‍යාප්ත කිරීමයි. සෑම දෙනාම එක්ව ජය ගැනීමටයි. වෙළඳ ආර්ථිකයෙන් සමාජ සාධාරණත්වයක් ඇති කිරීමයි. එවිට ශක්තිමත් මධ්‍යම පන්තියක් බිහිකරගත හැකියි. ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වයත් ශක්තිමත් කරගත හැකියි. සණස ඒ වැඩකටයුත්ත හොදින් කරනවා. ඒ ජනතාවගේ මුදල් ආයෝජනය කරනවා.
     
    විදේශ ආයෝජකයන් එනවිට එහි වාසිය ලබන්නේ දේශීය ආයෝජකයන් බව අප මතක තබාගත යුතුයි. විදේශ ආයෝකයකු පැමිණ හෝටලයක් ඉදිකළොත් ඊට වාහන අවශ්‍යයි. බඩු භාණ්ඩ, සේවා සපයන්නන් අවශ්‍යයි. ඒ අවශ්‍යතා සැපයිය යුත්තේ ලාංකිකයනුයි. 
    හම්බන්තොට අලූත් තෙල් පිරිපහදුවක් ඉදිකළ පසුව අවශ්‍ය සේවා සපයන්නේ කව්ද? බවුසර් යොදවන්නේ කව්ද? චීනයෙන් හෝ ඉන්දියාවෙන් නොවේ. අපේ ජනතාවයි. ත්‍රිකුණාමලය දියුණු වුවහොත් එහි වාසිය ඉන්දියාවට හෝ ජපානයට නොවේ. ඒ අය පැමිණ ආයෝජන කරාවි. නමුත් ඒ ආයෝජන හරහා තවත් කී දෙනෙකු දියුණු වෙනවාද?
     
    ජනතාව අතේ මුදල් ගැවසෙන විට සෙසු අයත් සණස මෙන් සාප්පු සංකීර්ණ ඉදිකරාවි.
    පාරිභෝගිකයා ශක්තිමත් වීමත් සමඟ දේශීය ආයෝජකයා සහ ව්‍යපාරිකයා ශක්තිමත් වෙනවා. විශාල මුදල් අවශ්‍ය නැහැ. ඔබ සියලූ දෙනා එක් වුවහොත් ඒ වැඩකටයුත්ත කළ හැකියි.
     
    බස්නාහිර මහා නගර වැඩසටහන යටතේ මේ ප්‍රදේශය සීඝ්‍රයෙන් දියුණුවීමට නියමිතයි. සමහරවිට ගම්පහ, උඩුගම්පොළ, යක්කල ප්‍රදේශ එක් විශාල නගරයක් බවට පත්වේවි. කිරිබත්ගොඩ, සපුගස්කන්ද, දළුගම ප්‍රදේශවල දැන් සිදුවන්නේ ඒ ක්‍රියාවලියයි. 
    සියලූ මන්ත්‍රීවරුන්ද තම ආසනය දියුණු කරන්න. අප ඒ සඳහා උදව් කරන්නම්. ආණ්ඩුවේ හිටියත් විපක්‍ෂයේ හිටියත් කව්රුන් හෝ තම ප්‍රදේශය දියුණු කරනවා නම් එය රටේ අනාගත පරපුරට කරන සේවයක් බව කිව යුතුයි. ඒ සේවය සඳහා අප උපකාර කළ යුතුයි.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya