සාහිත්‍ය ලෝලී, කලාකාමී හදවත් අමන්දානන්දයට පත් කළ සේකරයන් 1929 වර්ෂයේ අපේ‍්‍රල් දොලොස්වනදා උපත ලැබීය. පිටිසර සිරියාව පිරුණු ගම්පහ, රදාවාන ඔහුගේ ගම් පියසයි. මෙම සහෘද හදවත, සිය කලාවට අත්පොත් තබන්නේ ද තමා ජීවත් වු ගමෙන් සහ ගමේ පාසලෙනි. සිය පියා සහ බාප්පා සමග එක්ව ගමෙහි නාට්‍ය පෙන්වන විට සේකරගේ වයස අවුරුදු 11 කි. එහිදී රඟපෑමෙන් හා ගායනයෙන් කලාවේ වැඩ පටන්ගත් මේ සෞන්දර්යය වේදියා ගායනය, රංගනය, නවකතාව, කෙටිකතාව, චිත‍්‍රපටය, චිත‍්‍රකලාව, මුර්තිය, කවිය, ගීතය ආදී වශයෙන් වන සෑම සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයකම හිනිපෙත්තටම ගමන් කළේ, කිසිවකුට සම නොවන අනුපමේය දස්කම් ප‍්‍රදර්ශනය කරමිනි.
එතුමා විසින් නිමැවුණු සෑම ක්ෂේත‍්‍රයකටම අදාල නිර්මාණ දිදුලා එළිය දුන් අමිල නිර්මාණ බවට පත් විය. අකාලයේ මිය ගියද හෙතෙම ගෙවු කෙටි කාලය තුළ කලාවට කළ සේවාව, කල්පයකට මෙලොවින් සමු නොගන්නේය. ජීවිතය මීවිතක් සේ ගෙවීමට හෙතෙම මධුවිත ද ළං කර ගත්තේය. කොටුවේ ” රෝයල් බාර්” එක ඔහුගේ සහ යහලූවන්ගේ සහෘදත්වයේ තෝතැන්නයි. අද සේකර ද නැත. රෝයල් බාර් එකද නැත. නමුත් එතැන සිට අවදි කළ අදහස්, නිර්මාණ සිතිවිලි ආදියෙහි මල් ඵල සිරිලක් වාසී ජනතාව අදටත් නෙලා ගනී.
සුනිල් මාධව පේ‍්‍රමතිලකයන් මා සමග කතා කරන අවස්ථාවකදී සේකර ශූරීන් ගැන කියූ අපුරු කතාවක් මා මතකයෙන් ඉවත් නොවේ. ඔහු වැඩිපුරම ආදරය කළේ කලාවට, ජාතියට, දේශයට, භාෂාවට. එය ඔහුගේ සාර්ථකත්වයයි. සේකර අඩුවෙන්ම ආදරය කළේ ජීවිතයට පමණි. යනුවෙන් සුනිල් මාධව පේ‍්‍රමතිලකයන් සේකර පිළිබඳ තතු කීවේය. සැබැවින්ම ජීවිත ආසාවක් තිබිණී නම් එයට ආදරය කළේ නම්, අකල් කාලයකදී එතුමා අපෙන් නික්ම නොයන්නට තිබුණි. සේකර ලියා අමරදේවයන් විසින් ගයා ගීතයෙන් හැඩ කළ ගුවන් විදුලියේ ” මධුවන්ති ” වැඩසටහන එවක නොදැන සිටියෙක් නොසිටි තරම්ය. ආචාර්ය පණ්ඩිත් අමරදේව, මහගම සේකර සුසන්යෝගය දිගින් දිගටම පැමිණියා නම් මෙරට සාහිත්‍ය කලා ක්ෂේත‍්‍රයේ උන්නතිය තවත් කිහිප ගුණයකින් ඉහළ යාම කාට වුවද වැළකිය නොහැකිය. සේකර ජීවත් වූ කාලය මෙන් දෙගුණයක කාලයක් ගාන්ධර්ව සේවය මෙරටට ලබාදුන් පණ්ඩිත් අමරදේවයන් පසුගිය වසර අගදී සදහටම නික්ම ගියේය. අමරදේවයන් දිනෙක සේකරගේ ගුණ සඳහන් කර තිබුණේ මෙලෙසිනි.
”සේකර සමග මා සිටියා වූ කාලය මගේ ගීත ලෝකයේ අමරණිය වු වකවානුව ලෙස සැලකිය හැකිය. සේකර සමග මම සෞන්දර්ය ගවේෂණයක යෙදුණා. සංගීතය හා සාහිත්‍ය අතර අනුකූලතාවය මම දුටුවේ මේ ගවේෂණයේ දී. මන්ද කියතොත් සාහිත්‍ය ක්ෂේත‍්‍රයට වඩා සංගීත ක්ෂේත‍්‍රය පුළුල් බැවින්, ගීත සාහිත්‍ය උපරිම තාලයකට ගෙන ඒමට සේකර සමත් වුණා.....” (අමරදේව - ජාතියේ ස්වර්ණ ස්වරය - 305 පිටුව*
මෙම දෙදෙනාගේ බැඳීම දිගුකල් තිබුණා නම් සාහිත්‍යය කලාවට ඇති වන උන්නතිය කවරාකාරදැයි අමරදේවයන්ගේ මුවින් සේකරයන් පිළිබඳව දිගහැරුණු එම වදන් වලින්ම තහවුරු වේ. අමරදේවයන්ගේ චිතකයට ගිනි දල්වන මොහොතේ පසුබිමින් ඇසුණු ” මළ හිරු බසිනා සැන්දෑ යාමේ....” ගීතයෙහි පදමාලා හිමිකරු මහගම සේකරයන්ය. එමෙන්ම සේකර විසින් ලියූ ” මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි...” නම් ගීතය අමරදේවයන් විසින් ගායනා කරන ලදී. එම ගීයෙන් කළ ඉල්ලීම පරිදිම සේකරයන්ගේ සොහොන් කොතෙහි එම ගීතය ලියා ඇත.
දැයට ඔබින සරලකම, ගමට රටට ඇති ලැදියාව, සිංහලයාට උරුම මනුෂ්‍යත්වය, සිංහලය හරිහැටි පුහුණු කිරීම ආදී ගුණයන් සේකර හා නිබඳව බැඳී තිබුණේය. එනිසාම හෙළයට උරුම සුනිශිත සාහිත්‍යාංගයන්, කලාංගයන් එතුමන් අතින් නිමැවිණි. අමරදේවයන් ජීවත් වු කාල සීමාවම සේකරයන්ද ජිවත් වූවා නම් එකී සුසංයෝගය හරහා මෙරට කලා උන්නතිය අපමණ දුරක් යාමට ඉඩ තිබුණි. 1990 සාහිත්‍ය වර්ෂය නිමිත්තෙන් ”සුපුබුදු කලා විදු මහගම සේකර” නමින් ලියැවුණු කෘතියෙහි සේකර පිළිබඳව දක්වා ඇති අදහසක් පහත දැක්වේ.
”සේකර ශික්‍ෂිත ගැමියෙකු මෙන්ම, ජගත් පුරවැසියෙකුද විය. ඔහු ජීවත්ව සිටි සත්සාලිස් වසද නොපිරි කෙටි කාලය ඉක්මවී, තවත් කාලයක් ජීවත්විණි නම් සිංහල සාහිත්‍යයට ඔහුගෙන් විය හැකිව තිබුණු සේවා එකතුව එදා මෙදා තුර ඕනෑම සිංහල ලේඛකයෙකුගේ සේවාව ඉක්මවා යනු ඇත.”
සමාජය විනිවිද දැකීමට , සත්‍ය අවබෝධයට එතුමා නිහඬතාව ප‍්‍රයෝජනයට ගත්තේය. ඉන් පසුව කලාවෙන් සාහිත්‍යයෙන් සමාජය පිළිබඳව සාහිත්‍ය පිළිබඳව හෙළි පෙහෙළි කළේය. සැප සම්පත් , ජීවිතය ආදිය ගැන ආලම්බනයක් වෙනුවට එතුමන්ට තිබුණේ නීරාලම්භනයකි. සෑම දෙයම තදින් අල්ලා ගැනීම ස්ථාවර පැවැත්මට බාධකයක් බැව් සේකරයන් විසින් ප‍්‍රායෝගිකව ඔප්පු කරන ලදී. නිර්මාණ හරහා අනාගතයට එය සරලව පැහැදිලි කිරීමටද සමත් විය.
ඉපදුණු, හැදුණු, වැඩුණු ගම අමතක නොකළ මෙම ගැමියා සිය ගම ඇසුරු කොට ලියූ ”තුන්මං හංදිය” නව කතාව පසුව චිත‍්‍රපටයකටද පෙරළිණි. එයින් ඔහු චිත‍්‍රපට අධ්‍යක්ෂණයට පිවිසියේය. එහි තිර පිටපතද ඔහුගෙනි. එම තිර පිටපතෙහිම අදාල රූප රාමුද ඇන්දේය. 1970 දී ”තුං මං හංදිය” තිරගත කළ විට ඔහු ඇදි චිත‍්‍රත්, චිත‍්‍රපටයේ රූප රාමුත් අතර වෙනසක් නොවුණු බව ඒ.ඞී. රංජිත් කුමාර විසින් ” නොව පැරණිය - ලිපි සරණිය” කෘතිය තුළ සේකර ගැන ලියන ලද සටහනක සඳහන් කර තිබේ. ” තුං මං හංදිය” තුලින්ම පමණක් කලා ක්ෂේත‍්‍ර කිහිපයක සමත්කම් හෙළි කරන්නට ඔහුට හැකිවිණි. මහගම සේකරයන්ගේ ප‍්‍රතිභාව මනාව මතු වූ ක්ෂේත‍්‍ර අතර කවිය සහ ගීතය මුලින්ම සිටි. ජීවිතය, මරණය, දෑ අනුරාගය, පංති විෂමතාවය ඔහුගේ කවි ගී නිර්මාණ වල බහුලව මිශ‍්‍ර වී ඇත.
ලාංකේය ගීත ක්ෂේත‍්‍රය බැබලවූ රත්න දීප ජන්ම භූමි, සන්නාලියනේ, මළ හිරු බසිනා, මා මළ පසු සොහොන් කොතේ, පටු අදහස් නම් පවුරින් ලෝකය, මේ සිංහල අපගෙ රටයි, සිනිදු සුදු මුදු කලාවේ, ඈත කඳුකර හිමවු අරණේ, පිලේ පැදුර හේනට අරගෙන යනවා ආදී වශයෙන් පිටු පිරෙන්නට එතුමාගේ ගීත රචනා නාමයන් පෙළ ගැස්විය හැකිය. ආගම දහම පිළිබඳව හසල අවබෝධය, ජන සාහිත්‍යය ගැන තිබූ පරිචය, ප‍්‍රවීණතාවය යනාදී සෑම කෞෂල්‍යයක්ම මෙම ගීත නිර්මාණතුළ පිරී පවතී. ඔහු ජීවත් වූ කාලයේ ලියන ලද ගීත සංඛ්‍යාව දහස ද ඉක්මවා ඇත. මහාචාර්ය සමන්ත හේරත් විසින් විටෙක මහගම සේකර ගේ ගීත රචනා ප‍්‍රතිභාව පිළීබඳ මෙලෙස අදහස් කැටි කොට තිබේ.
”මහගම සේකර, තමා විෂය කොටගත් නිර්මාණ අනුභූතීන් ප‍්‍රබල පරිකල්පනයකින් සුඛනම්‍ය භාෂා වෛචිත‍්‍රයකින්, යුතුව ගීතයට නැගීමේ අසාමාන්‍ය කෞශල්‍යකින් ප‍්‍රකට කළ රචකයෙකි. සේකර කළ බොහෝමයක් රචනා වල ඔහගේ පිරී පැසුණු කවීත්වයත්, භාෂා ආධිපත්‍යයත් කැපී පෙනේ. එමෙන්ම ගීතය මනුෂ්‍ය ජීවිතය කලාත්මකව ස්පර්ශ කළ හැකි, සැලකිය යුතු ප‍්‍රමාණයට ජීවිතය විවරණය කළ හැකි සාහිත්‍යයක් රචනා ප‍්‍රවර්ගයක් ලෙස සලකමින් නිර්මාණ කාර්යයෙහි නියුක්ත වු බව පෙනේ..”
ඔහු ගීත රචනයට දැක්වූ හසල හැකියාව ඇගයීමට පාත‍්‍ර වූ සුවිශේෂී අවස්ථා ලෙස සාර විට (1966* චිත‍්‍රපටයේ එන ” මේ සිංහල අපගෙ රටයි..” ගීතයට සහ සත් සමුදුර (1968* චිත‍්‍රපටයේ එන ”සිනිදු සුදු මුදු තලාවේ..” ගීතයට හොඳම ගීත රචනයට හිමි සම්මාන හිමිවීම සඳන් කළ හැකිය.
විවිධ හේතූන් නිසා යටපත් වුවද ” රත්නදීප ජන්ම භූමි...” වැනි අග‍්‍රගන්‍ය ගීතයක් ලංකාවේ ජාතික ගීය විමටද ඉඩ තිබුණි. ගීයට පෙම් බැදි සේකර සහෘදයාණන්ගෙන් ඉල්ලීම් කළා නම් ශ‍්‍රී ලංකාවේ සෑම පාසලකම පාසල් ගීතය ඔහු ලවා ලියවා ගත හැකි විනැයි, සුනිල් මාධව පේ‍්‍රමතිලකයන් වරෙක මා සමග කියා ඇත.
සමාජය සදන්නට, දේශය නගන්නට අවැසි මා හැඟි අදහස් වලින් සපිරුණු සේකරයන්ගේ කවි කලාවද අගනේය. ප‍්‍රබුද්ධ, බෝඩිම, රාජතිලක - ලයනල් සහ ප‍්‍රියන්ත, හෙට ඉරක් පායයි, මක් නිසාද යත්, සක්වාලිහිණි, නොමියෙමි ආදී පද්‍ය ග‍්‍රන්ථ රාශියක ඔහුගේ පදවැල් මුතුවැල් සේ ඇමිණි ඇත, එ්වා ඕනෑම කාලයකට සෙත් දෙන සඵල වාක්‍ය සමුදායකි. ඔහුගේ ගීතයෙන් ජාත්‍යානුරාගය වහනය වුවාසේම කවියෙන් ද එය මනාව හෙළි පෙහෙළි වේ. අවබෝධයේ යථාර්ථමය මාර්ගය ඔහු මනාව දැන සිටි බව පසක් කරවන අදහසක් ”නොමියෙමි” පද්‍ය ග‍්‍රන්ථයට ලියන පෙරවදනෙහි සේකරයන් විසින් සටහන් කර තිබේ. අපගේ ජීවිතයේ සුඛ - දුක්ඛ, ආශා, අපේක්ෂා වලින් තොරව කලා කෘති නූපදියි” යනුවෙන් කරන ලද එම ප‍්‍රකාශයෙන් ඔහු දුටු ජීවන යථාර්ථය ස්වකීය නිර්මාණ හරහා පොදු අනුභූතියක් බවට පත්කර ඇතැයි හැෙඟ්.
සේකර සිහිකරන පිරිස් හදවතෙහි රදවා සිටින ඔහුගේ විශිෂ්ටතම පද්‍ය ග‍්‍රන්ථය ලෙස සලකන්නේ ”ප‍්‍රබුද්ධ ”යි. රසිකයන්ට සමාජයේ ඇත්ත දකින්නට පාර කියන අපුර්ව නිමැවුමකි ප‍්‍රබුද්ධ. ප‍්‍රසිද්ධ ප‍්‍රබුද්ධ විසිත්ත කරන්නට විටෙක සම්භාව්‍ය සාහිත්‍ය සේවනය කරයි. විවිධ ආගම්හි අභාස ලබයි. විටෙක තිබ්බතිය මළපොත ගැන කියන හෙතෙම විටෙක ධම්ම පදයේ යමක වග්ගයට යයි, දීඝ නිකායද ඇසට අසුවේ. අශෝක ලිපි, ශුද්ධ වූ බයිබලය ආදිය ගැනද එහි තිබේ. ඔහුට විවිධ ක්ෂේත‍්‍ර පිළිබඳව ඇති ප‍්‍රාගුණය සිහිපත් කරමින් සමාජ යථාර්ථය ස්ථිර ලෙස ප‍්‍රබුද්ධ තුළ රෝපණය කර ඇත. ප‍්‍රබුද්ධ නුතන බණ කතාවක් බදු යැයි මට හැෙඟ්. එහෙත් බණ පොතක් කියවීම තරම් එය කියවා තේරුම් ගැනීමට අසීරුවක් නැත.
නිර්ලෝභීව ජනකවි ආභාසය හා ගැමි වහර සිය කවි වලට එක්කර ගත් සේකර එයින් අරුත් ජනනය කිරීමට නව පණක් ගෙන තිබේ. මසට අඬගසන්නා බවලත්තු, (කන්දේ කකා ලන්දේ යන බෝසත්තු* කාරෙක අරන් මරදානේ යන කලට (මල්ලී මමයි තනි පාරේ යන කලට* , සකල සිරිත් පිරි සිරි ලංකාවේ, අනේ මහතුනේ මට වුණු වියෝයා, ඉර පායා ඉර මුදුණට එන්න එපා ආදී පද බන්ධන සේකරයන්ගේ කවි අතර ඕනෑ තරම් තිබේ. ගැමි වහර යෙදීමත් (ප‍්‍රබුද්ධ - 37 - 38 පිටු බලන්න* ඉංග‍්‍රීසි, දෙමළ වචනද සම්මිශ‍්‍රණයෙන් අරුත් මතු කිරීමත් කැපී පෙනේ. (රාජතිලක, ලයනල් සහ ප‍්‍රියන්ත - 17, 15 පිටු, මක්නිසාද යත් - 3 පිටුව, ප‍්‍රබුද්ධ - 66 පිටුව බලන්න*
සේකර ගැනත් සේකරගේ නිර්මාණ ගැනත් බොහෝ දේ කියන්නට තිබේ. එහෙත් එය කෙටියෙන් නිම කළ නොහැකිය. කවි කලාවට හිත නොදෙන අයට ඒ සඳහා යලිත් ආශාව පහළ කරගැනීමට රුකුල් සපයන කාව්‍ය කරණයක් සේකර තුළ පැවති බව නම් නොකියාම බැරිය. ඔහුගේ කවි හෙළයාට මෙතරම්ම දැනෙන්නට හේතුව වුයේ කුමක්ද? ගමෙහි වැඩුණු කුඩා සේකරට හෙළ මියැසියේ සැබෑ සුවඳ දැනෙන්නට ඇත. සුනිල් ශාන්තයන්ගේ ආනන්ද සමරකොන්ගේ ගීත ඊට උත්තේජන සපයන්නට ඇත. ගමේ ටීටර් මඩුවල ගී නිතර කන වැකුනෙන් ඉන් ලැබුණු තෘප්තියද ස්වකීය කලා රසයෙන් ලද තෘප්තියත්, මනසින් දුටු හෙළ අසිරියත් එකට කැටි වී ඔහුගේ කව් - ගී කලාවට පාර තැනෙන්නට ඇත. යලි නොපායන ලෙස අකාලයේ බැස ගිය සේකර සඳ නික්මෙන්නට ආසන්න දිනෙක කියූ කතාවක් ඒ.ඩි. රංජිත් කුමාර විසින් ”නොව පැරණිය - ලිපි සරණිය” කෘතියෙහි සටහන් කරයි.
”දැන් මට කිසි ආසාවක් නැහැ. මම කැමති ජිවිතය ගැන භාවනා කරන්න. විවිධ ආගම් කතුවරුන්ගේ පොත් කියවන්න. නිසොල්මනේ විවේකීව කුරුල්ලන්ගේ හඬ අහන්න. ගලන ෙදාලේ ශබ්ද තරංග අහන්න.....”
කවියෙන් පමණක් නොව ක‍්‍රියාවෙන්ද නිරාමිස මිනිසකු බව පසක් කළ සේකරයන් ගැන අපුරු අදහසක් එම සඳහනෙන් ලද හැකිය. එම අදහසින් තෙමසකට පසුව ඔහු මෙලොව හැර ගියේ ජීවිත භාවනාව දෙව්ලොව දී අරඹන්නට විය හැකිය. සේකර නමැති සද නික්ම ගියේ ය. එහෙත් නිවී ගියේ සඳ පමණි. එහි එළිය අඩු නැතිව අද ද, හෙටද, මතුවටද ලක් අඹර දිදුලවන්නේ ය.
සටහන-
ෂෙල්ටන් බණ්ඩාර