ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (National Fuel Pass) හරහා ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා භාවිත කරන QR කේත ක්‍රියාවලිය මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්ව ඇති අතර, එය දැනට සක්‍රීයව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉදිරියේදී ඉන්ධන ලබාගැනීමේ ක්‍රියාවලිය වඩා විධිමත් කිරීම සඳහා රථවාහන හිමියන් අනුගමනය කළ යුතු පියවර 3ක් පිළිබඳව බලධාරීන් අවධාරණය කර ඇත. ඒ අනුව තමන් අයත් වන කාණ්ඩය හඳුනාගෙන QR කේතය භාවිතයෙන් ඉන්ධන ලබාගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.
දැනටමත් QR කේතයක් හිමි, වාහනයේ අයිතිය සහ ලියාපදිංචි කර ඇති දුරකථන අංකයෙහි කිසිදු වෙනසක් නොමැති රථවාහන හිමියන්ට, තමන් සතුව පවතින පැරණි QR කේතයම ඉදිරිපත් කර බාධාවකින් තොරව ඉන්ධන ලබාගත හැකි බවද සඳහන් වේ.
මීට පෙර පද්ධතියට ලියාපදිංචි වී ඇති නමුත් QR කේතය අස්ථානගත වී හෝ දුරකථනයෙන් මැකී ඇත්නම් (දුරකථන අංකය සහ වාහන තොරතුරු නොවෙනස් නම්) නැවත ලියාපදිංචි වීම අවශ්‍ය නොවේ. එවැනි අවස්ථාවල පද්ධතියට ලොග් වී ජංගම දුරකථනයට ලැබෙන OTP කේතය භාවිතයෙන් QR කේතය නැවත ලබාගත හැකිය.
කෙසේ වෙතත්, මීට පෙර ලියාපදිංචි නොවූ පුද්ගලයන්, අලුතින් වාහනයක් මිලදී ගත් අය (අයිතිය වෙනස් වූ), හෝ ලියාපදිංචි කළ දුරකථන අංකය දැනට භාවිත නොකරන පුද්ගලයන් පද්ධතියට අලුතින් ලියාපදිංචි වීම අනිවාර්ය බවද බලධාරීන් දැනුම් දෙයි.
ඉන්ධන පිරවුම්හල්වල තදබදය අවම කර ගැනීමටත් කාර්යක්ෂම සේවාවක් ලබාගැනීමටත් මෙම උපදෙස් පිළිපදින ලෙස රථවාහන හිමියන්ගෙන් ඉල්ලා සිටින අතර, මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටලු හෝ අමතර තොරතුරු සඳහා 1919 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ රජයේ තොරතුරු කේන්ද්‍රය ඇමතීමට හැකි බවද සඳහන් වේ.


