බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු සහ යුරේනස් යන ග්‍රහලෝක හයක දුර්ලභ පෙළගැස්මක් මේ දිනවල සිදු වන අතර මෙම අහස් පෙරහැර ජනවාරි 29 දක්වා මේ දිනවල හිරු බැස යෑමෙන් පසු විනාඩි 90 ක් ඇතුළත හොඳින් දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ සහ නවීන තාක්‍ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මෙම අහස පෙරහැර තාරකාවිද්‍යා ලෝලීන්ට සහ තරු නිරීක්ෂකයින්ට දර්ශනීය දසුනක් ලබා දෙන අතර සිකුරු, සෙනසුරු, බ්‍රහස්පති සහ අඟහරු පියවි ඇසින් දැකීමට තරම් දීප්තිමත් ය. යුරේනස් සහ නෙප්චූන් දුරේක්ෂයකින් දැකිය හැකි වේ.
සියලුම ග්‍රහලෝක අහස හරහා එකම පොදු මාර්ගයක් අනුගමනය කරන බැවින්, බටහිර සිට නැගෙනහිරට ඇද ඇති මනඃකල්පිත රේඛාවක් වටා දළ වශයෙන් බැලීමෙන් ඒවා හඳුනා ගැනීම පහසු වේ. ඒවා අහස හරහා චාපයක් තුළ දිස් වුව ද, ග්‍රහලෝක ඇත්ත වශයෙන්ම අභ්‍යවකාශයේ සරල රේඛාවක සකසා නොමැත.
මෙම අහස පෙරහැර බටහිර අහස දෙස බැලීමෙන් ආරම්භ කර දීප්තිමත්ම ග්‍රහයා වන සිකුරු ග්‍රහයා සහ ඊට මදක් පහළින් පිහිටා ඇති සෙනසුරු ග්‍රහයා දැකගත හැකි වේ. එම ග්‍රහලෝක දෙක අතර රේඛාවක් ඇඳ බැලීමෙන් පසු එම රේඛාවට ඉහළින් බ්‍රහස්පති දැකගත හැකිවේ. එම රේඛාව අනුගමනය කරමින් තවත් ඉහළට බැලූ පසු අඟහරු ග්‍රහයා නැඟෙනහිර දෙසින් රතු පැහැයෙන් දිදුලන ආකාරය දැකගත හැකි වේ. අඟහරු ග්‍රහයා පෘථිවියේ සිට සූර්යයාට කෙළින්ම විරුද්ධ ව මේ දිනවල පිහිටන නිසා වැඩි දීප්තියකින් දිස්වන වනු ඇත.
අනෙක් ග්‍රහලෝක දෙක පියවි ඇසට නොපෙනෙන අතර යම් පුහුණුවක් සහිතව දුරේක්ෂයකන් බැලූවිට, සිකුරු ග්‍රහයාට මදක් ඉහළින් සහ එහි දකුණට වන්නට නිල් පැහැයෙන් දිදුලන නෙප්චූන් ග්‍රහලෝකය දැකගත හැකි බවත්, බ්‍රහස්පති ග්‍රහයාට බටහිර දෙසින් යුරේනස් ග්‍රහලෝකය දිස්විය හැකි බවත් මහාචාර්ය ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.