ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ 125 වන සංවත්සර මහෝත්සවය අප්‍රේල් මස 29 සිට සිට මැයි මස 07 දින දක්වා කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධීරාජාරාම මූලස්ථාන මහා විහාරයේ දී පැවැත්වීමට කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධීරාජාරාම මූලස්ථාන මහා විහාරයේ දායක සභාව කටයුතු සුදානම් කර ඇත.
මෙම පිංකමට අදාළ ප්‍රථම චීවර සංඛේතාත්මකව මහා සංඝරත්නය වෙත බාරදීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක කරදෙටියන ගුණරතන නාහිමි හිමි විසින් එම චීවර පිරිකර සංකේතවත් ව කළුතර බෝම්බුවල මූලස්ථාන මහා විහාරාධිපති කළුතර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජී හිමි ඇතුලු මහා සංඝරත්නයට පූජා කිරීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ප්‍රදානය කරන ලදි.
සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමය, සිංහල බෞද්ධ සංවිධානය සහ ලංකාරාමය යන ආයතන සම්බන්ධ කර ගනිමින් චීන බෞද්ධ පිරිසකගේ දායකත්වයෙන් එම චීවර 500 කින් යුත් චීවර ප්‍රදාන දානමය පිංකම සිදු කර ඇත. මෙම එක් චීවරයක වටිනාකම රුපියල් 2000 ක් පමණ වේ.
චීවර ප්‍රදානය කිරීමෙන් පසු සිංගප්පූරුවේ මහා කරුණා බෞද්ධ සංගමයේ අනුශාසක කරදෙටියන ගුණරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි දී අදහස් දක්වමින් නව රජයට දීර්ඝකාලීන දේශපාලන ගමනක් ඇති බව අවධාරණය කරන ලදි.
ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහා නායක මහා විහාරවංශාලාංකාර අමරපුර ඝණමොක්ඛාචරිය අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අරියවංශ සද්ධම්මයුක්තික පාර්ශවයේ මහා නායක ශ්‍රී සෝමානන්ද පඤ්ඤාසාගර වංශාලංකාර පරියප්තිවිශාරද අතිපූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලි මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ත්‍රෛයිනිකායික මහා සංඝ රත්නයේ වැඩමවීමෙන් මෙම ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ 125 වන සංවත්සර මහෝත්සවය පැවැත්වේ.
අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකාය පාර්ශ්වයේ 125 වැනි සැමරුම් ඵලකය නිරාවරණය, පැවිදි ගිහි පුතුන් පිරිසකට උපහාර සම්මාන ප්‍රදානය, ශ්‍රී සුමනජෝති කාරක සංඝ සභාවේ ගරුතර ස්වාමින් වහන්සේලාට සමරු තිළිණ පිරිනැමීම, සමාජ සත්කාර වැඩසටහන්, ආයුර්වේද මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම, ඵෛතිහාසික කළුතර බෝධීන් වහන්සේ අභියසදී කුලදරුවන් 100 දෙනෙකු පැවිදි කිරීම මෙම සංවත්සර මහෝත්සවයේ දී සිදුකිරීමට නියමිතය.
මෙම අවස්ථාවට බෝම්බුවල මූලස්ථාන මහා විහාරාධිපති කළුතර පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය හල්වතුරේ අස්සජී හිමි ඇතුළු මහා සංඝරත්නය, බොද්ධ කටයතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.පී රත්නායක, අතිරේක ලේකම් එච්.එන් කුමාරි, බුද්ධ ශාසන හා බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් නිමල් රත්නායක යන මහත් ම මහත්මීන් ද එක්ව සිටියහ.