IMF සිව්වැනි සමාලෝචනයට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා සාර්ථකයි

IMF සිව්වැනි සමාලෝචනයට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතා සාර්ථකයි
  • SocialShare:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි බවත්, එම එකඟතා සාර්ථක බව  කම්කරු හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය  අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය  අමාත්‍යවරයා මේ බව පැවසීය

 මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡාව පසුගියදා වොෂින්ටන් නුවරදී  පැවති අතර, මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යය පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බවද ඒ මහතා පැවසීය.

ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී  ශ්‍රී ලංකාව  පැසසුමට ලක්කරන ප්‍රතිඵල අත්කර තිබෙන බවත්, මෙරට ආර්ථික වර්ධන වේගය 5% දක්වා වර්ධනයකර ගැනීමට හැකි වී තිබෙන බවත් එම වාර්තාවේ සදහන් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මාර්තු අවසන් වනවිට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.5 දක්වා වර්ධනය වී ඇතැයිද ලබන වසරේ එය ඩොලර් බිලියන 7 ඉක්මවනු ඇතැයිද  ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට මහජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට සහ අපේක්ෂිත ඉලක්කවලට අනුව ආදායම එකතු කර ගැනීමට හැකිවී ඇතැයිද පෙන්වාදුන් අමාත්‍යවරයා, .දේශීය ආදායම්, සුරාබදු සහ රේගු දෙපාර්තමේන්තු පසුගිය මාස  කිහිපයේදී අපේක්ෂිත ඉලක්ක පසුකරමින් ආදායම් ලබා ඇතැයිද කීය.

එහෙත්  මෙම වාර්තාවේ  අන්තර්ගතය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා වෙනුවට එම වාර්තාවේ  අඩංගු විදුලිබිල ගැලපීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය වැරදි ලෙස අර්ථකතනය කර  ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදුලි බිල ගැලපීම සම්බන්ධයෙන් මෙම වාර්තාවේ සඳහන් වන්නේ විදුලිබිල ගණනය වීමේ පිරිවැය  සම්බන්ධයෙන් බවත්, එය ෆෝමියුලා එකකට අනුව සිදුවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.ඒ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවත් පසුගිය ජනවාරි මාසයේ සිදුකළ 20%ක මිල අඩුකිරීමෙන් පසුව ඊළඟ කාර්තුව එන්නේ අප්‍රේල් මාසයේ බවත්  ඒ මහතා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"ඒ ඒ කාර්තුවට අදාළ දත්ත විදුලි බල මණ්ඩලය විසින්,   මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබා දුන් පසුව එම පුරෝකථනයන් පිළිබඳ පැහැදිළි කිරීමකට යන්න ඕන. මහජන උපයෝගිතා කොමිෂන් සභාව කියන්නේ ස්වාධීන ආයතනයක් ඒ ගෝල්ලෝ සාකච්ඡා කරලා  එම කටයුතු සිදු කරනවා. ගිය පිරිවැය ආවරණය කරන් නැහැ කියා එයින් අදහස් වන්නේ නැහැ.මෙම උපකල්නයන්හි ගැටලු තිබේ නම් ජූනි මාසයේ දී එම ගැටලු විසඳගනිමින් උපකල්පනකට යාමේ එකගතාවයකට  පැමිණ තිබෙනවා.

නමුත් මේ සම්බන්ධයෙන් වැරදි විදියට සමාජගත වී තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ එදිනෙදා වැඩකටයුතු , බෙදාහැරීම් සිදුකිරීමේදී ඇතැම් අවස්ථාවල කෙටිකාලීන ණය ගැනීමට සිදු වෙනවා. එහෙත් කෙටි කාලීන ණය ගැනීම අනවශ්‍ය විදියට වැඩිවුණොත්  ගැටලු මතුවෙනවා.  අතීතයේ මෙලෙස ගත් ණය , පරණ කුණු අපි ක්ලියර් කරල තිබෙන්නේ.  යම් ණය ගැනීමකට යන්න කලින් ස්වයංක්‍රීයව මිල adjust කරන්න කියලා තිබෙන්නේ.  එම මිලදී ගැනීම් වලදී සිදුවන ක්ලෑෂ් ෆ්ලෝ එක රුපියල් බිලියන 15ට වඩා අඩු වෙනවා නම් අඛණ්ඩව සති දෙකකදී එකවර විදුලිබිල 10%කින් වැඩිවෙන්නඕන කියලා. නමුත් විදුලිබල මණ්ඩලයත් මහජන උපයෝගිතා කොමිෂන් එකත් ගනන් හදලා තිබෙනවා. එහෙම වෙනස් කිරීමක් අවශ්‍ය නැහැ.ක්ලෑෂ් ෆ්ලෝ එක රුපියල් බිලියන 15  ඉක්මවන තැනක නෙමෙයි තිබෙන්නේ. නමුත්  ඇතැම් මාධ්‍ය  මේ සම්බන්ධයෙන් වැරදි අර්ථකතන සිදු කරනවා.

ආණ්ඩුවේ බදු ආදායම 2024දී  සියයට 8.2 සිට සියයට 13.5 දක්වා වැඩිකරගෙන තිබෙනවා.

අපිට මේ  කෙටි කාලය තුළ අපේක්ෂිත ඉලක්කම අනුව ආදායම එකතු කර ගන්න හැකි වී තිබෙනාවා. මහජන විශ්වාසය තහවුරු කරගන්න හැකි වී තිබෙනවා. "

ඇමරිකාවේ තීරු බදු සම්බන්ධයෙන් එරට  නිවැරදිම ආයතනය සමග සාකච්ඡා පැවැත් වූ බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී මහජනතාව දැනුම්වත් කරන බවද කීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.