ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78වැනි ආසියානු කලාපීය දකුණු නැගෙනහිර සමුළුව 2025 මෙවර සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බවත් මෙම සමුළුව ඔක්තෝබර් මස 13 වැනි දින 15 වැනි දින දක්වා කොළඹදී පැවැත්විමට නියමිත බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂ‍්ඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
මෙම සමුළුව ලෝක සෞඛ්‍ය සැසියට පූර්ව සූදානමක් බවත් මෙම කලාපයේ 2024 වසරේ සිට ඉදිරියට අයවැය සමාලෝචනය කිරීම මෙම සැසියේ තවත් අරමුණක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම මෙම කලාපයට ආවේණික වූ යම් යම් සෞඛ්‍ය වැඩසටහන් සමාලෝනය කිරීමද මෙම සමුළුවේ තවත් අරමුණක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.අමාත්‍යවරුන්ගේ වටමේස සාකච්ඡාව මෙම සැසියේ ප්‍රධාන අවස්ථාවක් බව පෙන්වා දුන් ජාසිංහ මහතා එම සාකච්ඡාවේදී මෙම වසරේ තේමාව ලෙස “ සෞඛ්‍යමත් වයස්ගතවීම සහ ප්‍රජා සෞඛ්‍ය“ තෝරාගෙන ඇති බවත් සඳහන් කළේය.ශ්‍රී ලංකාව ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධනය වෙනුවෙන් මේ වනවිට විශේෂ අවධානයක් යොමු කර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
වත්මන් රජය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය වෙනුවෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන බවත් වසර 2041 වනවිට වයස්ගත ජනගහණය ප්‍රක්ෂේපනය කර ඇත්තේ සියයට 25ක් බවද ඒ මහතා සඳහන් කළේය.ඒ අනුව සෑම පුද්ගලයන් 4දෙනෙකුගෙන් එක් අයෙකු වයස්ගත පුද්ගලයකු බව ඒ මහතා පෙන්වා දුන්නේය.ඒ අනුව ඔවුන් සෞඛ්‍යමත් ලෙස වයසට යාම වෙනුවෙන් ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
සර්ව සෞඛ්‍ය ආවරණය සම්බන්ධව දකුණු ආසියානු කලාපයෙන් ශ්‍රී ලංකාව හොඳ මට්ටමක පවතින බව සඳහන් කළ ජාසිංහ මහතා ජාත්‍යන්තර වශයෙන් තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් මෙම කලාපයේ වැඩකටයුතු සම්බන්ධයෙන්ද මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙන බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
වර්තමානයේ ප්‍රතිජීවක අවභාවිතවීම හේතුවෙන් ප්‍රතිජීවක සඳහා ප්‍රතිරෝධයක් ඇති වී තිබෙන බව සඳහන් කළ ඒ මහතා ඒ හේතුවෙන් නව ප්‍රතිජීවක හඳුන්වා දීම විරළ වී ඇති බවද හෙතෙම අවධාරණය කළේය.මෙම සියලු කාරණා සම්බන්ධයෙන් මෙම සමුළුවේදී විශේෂ අවධානය යොම කෙරෙන බවද ජාසිංහ මහතා සඳහන් කළේය.


