ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වෙනි ජාතික උපසම්පදා මහෝත්සවයේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 30 වැනි දින සවස 2.00ට ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වලේබොඩ ගුණසිරි නාහිමිපාණන් පැවසූහ.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වෙනි ජාතික උපසම්පදා උත්සවය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද(25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නාහිමිපාණන් වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
දෙවසරකට වරක් සිදු කරන මෙම උපසම්පදා විනය කර්මය, මෙවර ජනපති කාර්යාලයේ සහ අමාත්‍යාංශ 21ක සම්බන්ධීකරණයෙන් රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වෙන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ජුනි මස 30 වැනිදා ආරම්භ වන ආගමික වැඩසටහන ජූලි මස 08 වැනි දිනය දක්වා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කලා වැව ගෝන නදී කලාඔය උදකුක්ඛේප සීමා මාලකයේදී අනුරාධපුර, විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාමය මහාවිහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
සමාරම්භක උත්සවයෙන් අනතුරුව දින හයක් පුරාවට කලාවැව උදකුක්ඛේප සීමා මාලකයේදී සාමණේර භික්‍ෂූන් වහන්සේ400ක් දෙනා සඳහා උපසම්පදා ගත කිරීම සිදුකෙරේ.


