අපනයන කෘෂි බෝග නිෂ්පාදන ඉලක්ක සපුරා ගැනීම සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් අපනයන කෘෂි භෝග 14ක් ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සංවර්ධන සහ පර්යේෂණ කටයුතු සිදු කරනු ලබන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
මෙහිදී ගම්මිරිස්, කෝපි, පුවක්, කොකෝවා, කරාබු, සාදික්කා, කරදමුංඟු, වැනිලා, බුලත්, සේර, පැඟිරි, ගොරකා, කහ සහ ඉඟුරු යන අපනයන කෘෂි බෝග 14 ප්‍රවර්ධනයට කටයුතු කරන බවද වර්තමානය වන විට හෙක්ටයාර 82,000ක පමණ වපසරියක මෙම බෝග ව්‍යාප්තව පවතින අතර, මිලියනයකට ආසන්න පාර්ශ්වකරුවන් පිරිසක් අපනයන කෘෂි බෝග ආශ්‍රිත වගාවන් හා කර්මාන්තයන්හි නියැළී සිටීන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2025 වර්ෂයේ සිට පාර්ශ්වකරුවන් දිරිමත් කිරීම හා ප්‍රවර්ධනය සඳහා අපනයන කෘෂි භෝග නව වගා වපසරිය වැඩිකිරීමේ වැඩසටහන, අපනයන කෘෂි භෝග වගාවන්හි ඵලදායිතාව ඉහළ නැංවීමේ වැඩසටහන, කාබනික අපනයන කෘෂි භෝග වගා ප්‍රවර්ධන වැඩසටහන, කාබනික වගා සහතිකකරණය සහ රසායනාගාර විශ්ලේෂණයට අදාළ කටයුතු, ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ ක්‍රමය (Fair Trade) සහතිකය ලබා දීම, අන්තර්ජාතිකව පිළිගත් කාබනික වගාවට අදාළ කර ගත හැකි අනෙකුත් සහතික ලබා දීම, පසු අස්වනු තාක්ෂණ වැඩසටහන සඳහා පහසුකම් සැපයීම, පැළ තවාන් සංවර්ධන වැඩසටහන, අපනයන කෘෂි භෝග වගා ආදර්ශන නඩත්තු කිරීම සහ සංචාරක කර්මාන්තය හා බැඳුණු අපනයන කෘෂි භෝග ව්‍යාපෘති ආදී වශයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවද පැවසුවේය.
එම වැඩසටහන් යටතේ වගාකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් විසින් සිදු කරනු ලබන ආයෝජන මුදලින් 50%ක උපරිමයක් දක්වා රජයේ ප්‍රතිලාභ ලබා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශකවරයා අවධාරණය කළේය.


