49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල ඉතා සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් - තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල ඉතා සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් - තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
  • SocialShare:

මෙවරත් 49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල ඉතා සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (17) 49 වෙනි ජාතික මහා ක්‍රීඩා උළෙල  පිළිබඳ දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙරට මළල ක්‍රීඩා ක්ෂේත්‍රෙය් බිහිවූ සියලුම ක්‍රීඩකයින් බිහිවී ඇත්තේ ජාතික මහා ක්‍රීඩා උළෙල හරහා කරලියට පැමිණි ක්‍රීඩකයින්ගෙන් බව සිහිපත් කළ ක්‍රීඩා අමාත්‍යවරයා මෙරට ක්‍රීඩාව නැංවීමේදී, නව ක්‍රීඩකයින් සොයා ගැනීමේදී, ක්‍රීඩකයින් දිරි ගැන්වීම් ආදී සියල්ලම මෙම ජාතික මහා ක්‍රීඩා උළෙල සමග බද්ධ වී ඇතැයිද පැවසුවේය.

මෙම ජාතික මහා ක්‍රීඩා උළෙල බිම් මට්ටමේ සිට අරඹන බවද, මෙහි පහළම මට්ටම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමේ තරග බවද පැවසූ අමාත්‍යවරයා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ මට්ටමේ තරග පවත්වා එම තරග වලින් ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිස්ත්‍රික් මට්ටමට ගෙනයන බවද දිස්ත්‍රික් මට්ටමෙන් ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පළාත් මට්ටමේ තරග සදහා ඇතුළත් කරන බවද සඳහන් කළේය.

පළාත් තරග වලින් ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සොයා ගන්නා බවද ඕනෑම ගමක සිටින ක්‍රීඩකයෙකුට පළාත් මට්ටමට ඒමට අවස්ථාව මෙම ක්‍රීඩා උළෙල හරහා නිර්මාණය වන බවද පැහැදිලි කළේය. කිසිම ක්‍රීඩකයෙකු අතරමගදී හැලීමක් සිදු නොවන බවද ඔවුන් අසාධාරණයකට ලක්නොවන ලෙස අපේ රටේ ක්‍රීඩකයන් සොයා ගැනීමේ අරමුණෙන මෙම ජාතික මහා ක්‍රීඩා උළෙල සංවිධානය කරන බවද පැවසුවේය.

මෙම ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර කොටස් 06කට සැලසුම් කර ඇතැයිද, එහි පළමු කාණ්ඩය අද (17) සිට 20 දක්වා ගාල්ලේ පැවැත්වෙන බවද වොලිබෝල්, කඹ ඇදීම, සැහැල්ලු පන්දු ක්‍රිකට්, නෙට්බෝල්, මැරතන්, පාපැදි, ඇවිදීම ආදී  ලෙස තරග වර්ග 07ක් අද පටන්ගන්නා කණ්ඩායමට අයත් වන බවද අමාත්‍යවරයා අවදාරණය කළේය.

දෙවස කොටස ජුලි 25 සිට 28 දක්වා කොළඹදීද, එයට මල්ලව පොර, වූෂු, ටයිකොණ්ඩු, බර ඉසිලීම වැනි ගණනාවක් පැවැත්වෙන බවද සදහන් කළේය.  තෙවන අදියර අගෝස්තු 01 සිට 03 දක්වා කොළඹ පැවැත්වෙන බවද එම අදියරේදී විශේෂයෙන්ම පිහිණුම්, ජූඩෝ, රග්බි 07, ජිම්නාස්ටික්, ක්‍රිකට් ටී 20 තරග පවත්වන බවද සිවුවන අදියර අගෝස්තු 13 සිට 17 දක්වා කොළඹ පවත්වන අතර එහිදී චෙස්, හෑන්ඩ් බෝල්, කැරම්, එල්ලේ, කරාටේ, වෙරළ කබඩි වැනි තරග පවත්වන බවද සඳහන් කළේය.

පස්වන අදියර අගෝස්තු 15 සිට 31 දක්වා ගාල්ලේ පවත්වන බවද බාස්කට් බෝල්, බොක්සින්, බොඩි බිල්ඩින්, පාපන්දු, කබඩි, බීච් වොලිබෝල් වැනි තරග මෙහි අන්තර්ගත වන බවද පැවසුවේය. අගෝස්තු 29 ජාතික මහා ක්‍රීඩා උළෙලේ විවෘත කිරීමේ උත්සවය පැවැත්වෙන බවද එය අගෝස්තු 29 සිට 31 තෙක් පැවැත්වෙන බවද පැවසූ අමාත්‍යවරයා 31 වනදා ගාල්ලේදී තෑගි බෙදාදීම සහ සහ සහතික පත් ප්‍රධානය කරමින් ක්‍රීඩා උළෙලේ අවසාන කටයුතු පැවැත්වෙන බවද සඳහන් කළේය.

ඒ අනූව අද (17) පටන් ගන්නා ක්‍රීඩා උළෙල අගෝස්තු 31 වන විට අවසන් වන බවද අදියර 06කින් ගාල්ල, මාතර සහ කොළඹ යන දිස්ත්‍රික්ක 03 මුල් කරගෙන පැවැත්වෙන බවද ලංකාව පුරාම විසිරී සිටින ක්‍රීඩකයින්ට මෙයට සම්බන්ධ විය හැකි බවද අවධාරණය කළේය.

මෙම තරග ප්‍රචලිත කිරීමට අමාත්‍යංශයෙන් සෑහෙන දායකත්වයක් ලබාදෙන බවද මෙම තරග පවත්වන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බවද දිස්ත්‍රික් තරගාවලි සංවිධානයට දිස්ත්‍රික්කයකට ලක්ෂය බැගින් ලබාදෙන බවද පළාතකට පළාත් තරග සදහා ලක්ෂ 05ක් ලබාදෙන බවද පැවසුවේය. ජාතික මහා ක්‍රීඩා උළෙලට සම්බන්ධ වන සෑම ක්‍රීඩකයෙකුටම ක්‍රීඩා අමාත්‍යංශයෙන් ඔවුන්ගේ ආහාර පාන සහ නවාතැන් වෙනුවෙන් දීමනාවක් ලබාදෙන බවද වැඩිදුරටත් පැවසුවේය.