ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 257 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැට හය දෙනෙකු (266) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් එකසිය පනස් තුන් දෙනෙකු (153) ඇතුළුව, ආධුනික නාවිකයින් හාරසිය දහනම දෙනෙකු (419) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර, 2025 අප්‍රේල් මස 29 වැනි දින පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නාවික නෞකා ශික්ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් ලක්ෂ්මන් අමරසිංහ ගේ ආරාධනයෙන්, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
ඒ අනුව නිත්‍ය අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 224 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 42 දෙනෙකු ද, ස්වේච්ඡා අංශය වෙත ආධුනික නාවිකයන් ලෙස 13 දෙනෙකු හා ආධුනික කාන්තා නාවිකයන් ලෙස 138 දෙනෙකු ද වශයෙන් ආධුනික නාවිකයන් 419 දෙනෙකු 257 වැනි ආධුනික බඳවා ගැනීම යටතේ මූලික පුහුණුව සඳහා, නාවික හමුදාවේ ආධුනික නාවිකයන් පුහුණු කිරීමේ ප්රමුඛ පුහුණු ආයතනයක් වන, පූනෑව ශ්‍රී ලංකා නාව්ක නෞකා ශික්ෂා ආයතනය වෙත අනුයුක්ත විය.
මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ ආධුනික නාවිකයින් වෙත කුසලාන ප්රදානය කිරීම එහිදී ප්‍රධාන ආරාධිතයා සිදු කෙරිණි. ඒ අනුව, 257 වැනි බඳවා ගැනීමේ විශිෂ්ටතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි ඩබ්.ඒ.ඩී.එම් සිල්වා ද , සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි එස්.එම්.ආර්.කේ.ජයලත් , දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි එස්.පී. උමයංග ද, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එච්.කේ.යූ මේඛලා ද සහ දක්ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි බී.එම්.එල්. ආකාශ් ද හිමි කර ගෙන ඇත. එමෙන්ම, 257 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්ෂතම අංශයට හිමි කුසලානය ‘සයුර’ අංශය හිමි කර ගෙන තිබේ.
මෙහිදී විසිර යන ආධුනික නාවිකයන් ඇමතූ නාවික හමුදා නියෝජ්‍ය ප්‍රධානී හා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ, විසිර යන ආධුනික නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනැමීම සිදුකෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, කාලානූරූපිව වෙනස් වු වෘත්තීමය නාවික හමුදාවක සුවිශේෂී කාර්යභාරයක් මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කිරීම සඳහා විසිර යන ආධුනික නාවිකයන් වෙත ඉදිරියට රාජකාරීන් හා වගකීම් පැවරෙනු ඇති බවත්, රටේ සංවර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් වීමේ කර්තව්‍ය සඳහා ඍජුවම දායක වෙමින්, ජාතික ආර්ථිකයට දායකත්වය ලබා දීමෙන් තම වගකීම් මනාව වටහා ගත් කාර්යශූර්ය විනයගරුක නාවිකයෙකු ලෙස මවුබිමට විශිෂ්ට සේවයක් ලබා දීමට අධිෂ්ඨාන කරගත යුතු බවත් පවසන ලදී.