නිල්වලා ගඟේ ලවණ බාධකය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීම අද ජනපති ප්‍රධානත්වයෙන්

නිල්වලා ගඟේ ලවණ බාධකය හේතුවෙන් වගා හානි වූ  ගොවීන්ට වන්දි ගෙවීම අද ජනපති ප්‍රධානත්වයෙන්
  • SocialShare:

නිල්වලා ගඟේ ලවණ බාධකය හේතුවෙන් වගා කටයුතු සිදුකිරීමට නොහැකි වූ මාතර දිස්ත්‍රික්කයේ ගොවීන්ට වන්දි මුදල් ප්‍රදානය කිරීමේ සමාරම්භක වැඩසටහන අද (27) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී  පැවැත් වේ.

 එහිදී තෝරාගත් ගොවීන් 250 දෙනෙකු වෙත වන්දි මුදල් ප්‍රදානය කෙරෙන බව  කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ලවණ බාධකය ඉදිකිරීම හේතුවෙන් කෘෂිකාර්මික වගා කටයුතු සිදුකිරීමට නොහැකි වූ ගොවීන් 5,000කට සහ වගා නොකළ අක්කර 12,800ක භූමි ප්‍රමාණයක් සඳහා වන්දි මුදල් ලබාදීමට රජය කටයුතු කර තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් 2019 වර්ෂයේදී, මාතර දිස්ත්‍රික්කයේ පානීය ජලයට කරදිය එක්වීම වැළැක්වීමේ අරමුණින් නිල්වලා ගඟ ආශ්‍රිතව මෙම ලවණ බාධක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබුණි.

කෙසේ වෙතත්, එම ලවණ බාධකය හේතුවෙන් 2019 සිට 2022 දක්වා කාලය තුළ කන්න 07කදී වගා හානි සිදුව ඇති බව සඳහන් වේ. විශේෂයෙන් කැකණදුර, කඹුරුපිටිය, මාලිම්බඩ සහ මැදඋයන්ගොඩ ඇතුළු ගොවිජන සේවා බල ප්‍රදේශවල වගා බිම් මෙලෙස වගා කිරීමට නොහැකි තත්ත්වයට පත්ව තිබේ.

ඒ අනුව, 2019 සිට 2022 දක්වා කන්න 07ක් සඳහා වන්දි ගෙවීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 2019 යල කන්නය, 2019/20 මහ කන්නය, 2020 යල කන්නය, 2020/21 මහ කන්නය, 2021 යල කන්නය, 2021/22 මහ කන්නය සහ 2022 යල කන්නය යන කාලසීමාවන් තුළ වගා කිරීමට නොහැකි වූ භූමි සඳහා මෙම වන්දි මුදල් නිදහස් කිරීමට නියමිතය.

ගොවි ජනතාවගේ දිගුකාලීන ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්, 2026 ජාතික අයවැය මඟින් රුපියල් මිලියන 1,200ක මූල්‍ය ප්‍රතිපාදන මෙම වන්දි ගෙවීම් සඳහා රජය විසින් වෙන්කර ඇති බවද සඳහන් වේ.