කපුරැල්ල උණුදිය තෙත්බිම සංරක්ෂණයට පියවර

කපුරැල්ල උණුදිය තෙත්බිම සංරක්ෂණයට පියවර
  • SocialShare:

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය, බෝගමුයාය ග්‍රාම නිළධාරී කොට්ඨාසයේ පිහිටා ඇති කපුරැල්ල උණුදිය තෙත්බිම් ප්‍රදේශය ලංකාවේ මේ දක්වා හමුවූ පළමු භුතාප තෙත් බිම ලෙස ඉතිහාසගත වී ඇත.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඊයේ (12) කපුරැල්ල උණුදිය තෙත්බිම නිරීක්ෂණයට සහභාගී විය.

මෙම අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා තිරසර ජෛව පද්ධති සංරක්ෂණය සහ සදාහරිත පරිසරයක් සඳහා වන රජයේ ප්‍රතිපත්ති අනුව මෙවැනි සුවිශේෂී පරිසර පද්ධති අනාගත පරපුරට දායාද කිරීම ඉදිරියේදීද අඛණ්ඩව සිදු කරන බවද අවධාරණය කළේය.‍

හෙක්ටයාර් 20.1 ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන මෙම තෙත් බිම සංරක්ෂණය කර ගැසට් කිරීමට පරිසර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන වන ජාතික ජල සම්පත් මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා පැවසුවේය.

ලෝකයේ ඉතා සීමිත සංඛ්‍යාවකින් පමණක් දක්නට ලැබෙන මෙවැනි භූතාප තෙත්බිම් අතර, කපුරැල්ල තෙත්බිම මෙරට හඳුනාගත් එකම උණුදිය තෙත්බිම ලෙසද සැලකේ.

මෙම තෙත්බිමේ උෂ්ණත්ව තත්ත්වය සාමාන්‍ය තෙත්බිම්වලට වඩා ඉහළ බැවින්, එයට ඔරොත්තු දෙන සුවිශේෂී ක්ෂුද්‍ර ජීවීන්, උණුසුම් පරිසරයට අනුවර්තනය වූ ජලජ ශාක සහ විවිධ පක්ෂී විශේෂ රැසකට මෙය වාසස්ථානයක් සපයන බවද වාර්තා වේ.

මෙය සංරක්ෂණය කිරීමෙන් භූ විද්‍යාත්මක හා උණුදිය උල්පත් පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ පර්යේෂණ සඳහා අවස්ථා විවෘත වන අතර, තිරසර පරිසර සංචාරක කර්මාන්තයද වර්ධනය විය හැක.

එම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්වරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.