තේ කර්මාන්තය ආශ්‍රිතව සේවයේ නියුතු ශ්‍රමිකයන්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්

තේ කර්මාන්තය ආශ්‍රිතව සේවයේ නියුතු ශ්‍රමිකයන්ට නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක්
  • SocialShare:

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය එක්ව තේ කර්මාන්තය ආශ්‍රිතව සේවයේ නියුතු ශ්‍රමිකයන් සඳහා නව විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

තේ වතු සහ තේ කර්මාන්තශාලා ආශ්‍රිතව සේවය කරන පුද්ගලයන්ට තම මූල්‍ය හැකියාව අනුව මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට එක්විය හැක.

මෙම යෝජනා ක්‍රමය යටතේ වයස අවුරුදු 18 දී දායක වන පුද්ගලයෙකු කාර්තුවකට රුපියල් 600 බැගින් ගෙවීමෙන් වයස අවුරුදු 60 සම්පූර්ණ වන විට මාසිකව රුපියල් 5,000ක විශ්‍රාම වැටුපක් ලබාගැනීමේ හැකියාව පවතී.

ගෙවනු ලබන වාරික මුදල අනුව රුපියල් 15,000, 20,000 සහ 25,000 වැනි ඉහළ මාසික විශ්‍රාම වැටුප් ලබා ගැනීමටත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක දායක මුදල වැඩිකර තමන් කැමති පරිදි විශ්‍රාම වැටුප සංශෝධනය කරගැනීමටත් අවස්ථාව සලසා දී ඇත.

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට පෙර දායකයා හදිසි අනතුරකට මුහුණ පෑමට සිදුවී පූර්ණ හෝ අර්ධ අබලතාවයකට පත්වුවහොත්/මියගියහොත් ජීවිත රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීමට මෙන්ම විශ්‍රාම වැටුප් ලබාගනිමින් සිටියදී මරණයට පත්වුවහොත් කාලත්‍රයාටද විශ්‍රාම වැටුප් ලබා ගැනීමටද හැකිවේ.

තේ කර්මාන්තය ආශ්‍රිත ශ්‍රමිකයන්ට ගතේ සවිය නැතිදා ඔවුන්ගේ ජීවිතය සුරක්ෂිත කිරීම මෙම රක්ෂණ යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණයි.