ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ මෙරට සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙරටට පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායම සිය සමාලෝචන කටයුතු සාර්ථකව අවසන් කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වතෙ පසුගියදා පැමිණි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කරමින් එම ප්‍රගති සමාලෝචනය නිල වශයෙන් අවසන් කරන ලද බව ප්‍රකාශ කරන ලදි.
මෙම මෙහෙයුමේ විශේෂ අංගයක් ලෙස නියෝජිත පිරිස රත්නපුර දිස්ත්‍රික්කයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූ බවත් එහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන "ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන" (Arogya Health and Wellness Centers) පිහිටුවීමේ වැඩපිළිවෙල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ආයතන නිරීක්ෂණය කළ බව ද විශේෂඥ කණ්ඩායම පෙන්වා දෙන ලදි.
ශ්‍රී ලංකාව විශ්වීය සෞඛ්‍ය ආවරණයක් (Universal Health Coverage) කරා යන ගමනේදී, එහි පදනම වන ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායම මෙහිදී යළි තහවුරු කරනූ ලැබීය.
මෙම විශේෂඥ සමාලෝචනය ඇගයීමට ලක්කල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සමාලෝචනය හරහා ලබාදෙනු ලබන නිර්දේශයන් පාදක කර ගනිමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ජාලය තවදුරටත් කාර්යක්ෂම සහ ජනතා කේන්ද්‍රීය පද්ධතියක් බවට පත් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා විශේෂඥ කණ්ඩායමට මෙහිදී පැවැසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාතික කණ්ඩායම පසුගිය 20 දින මෙරටට පැමිණ (24) දින දක්වා සමාලෝචන කටයුතු සිදු කරනූ ලැබීය.
මෙම සාකච්ඡාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.ඩබ්. සරත්චන්ද්‍ර කුමාරවංශ, ශ්‍රී ලංකා රජයේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය උපදේශකවරයෙකු වන පාලිත අබේකෝන්, විශේෂඥ කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රාථමික ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ සෞඛ්‍ය සේවා හා සෞඛ්‍ය ශ්‍රම බලකා අංශ ප්‍රධානී ඉබාදත් ඩිලෝන් (Mr Ibadat Dhillon), ඉන්දීය ජාතික සෞඛ්‍ය පද්ධති සම්පත් මධ්‍යස්ථානයේ හිටපු විධායක අධ්‍යක්ෂ සහ ලෝක සෞඛ්‍ය සංවිධාන උපදේශක මහාචාර්ය ටී. සුන්දරරාමන් (Prof T Sundararaman), ජපානයේ ජාත්‍යන්තර සෞඛ්‍ය හා සුභසාධන විශ්වවිද්‍යාලයේ උප සභාපති සහ ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර අමාත්‍ය ආචාර්ය නාඕකෝ යමමොටෝ (Dr Naoko Yamamoto), සෞඛ්‍ය පද්ධති පර්යේෂණ ප්‍රධානී, මෙන්සීස් සෞඛ්‍ය පර්යේෂණ පාසල, ඕස්ට්‍රේලියාව මහාචාර්ය ඇලෙක්සැන්ඩ්‍රා එඩෙල්මන් (Professor Dr Alexandra Edelman), එක්සත් රාජධානියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හිටපු ජාතික අධ්‍යක්ෂ සහ වෘත්තීය ප්‍රමිති අධිකාරියේ හිටපු ප්‍රධානී මහාචාර්ය හැරී කේටන් (Professor Harry Cayton), තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සත්කාර සහාය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය ඔරවාන් තවයිතිබොන්ග්ස් (Dr Orawan Tawaytibhongs), ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා නිලධාරී, ආචාර්ය ප්‍රියංකා ශ්‍රේතා (Dr Priyanka Shrestha) යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


