උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාවගේ පහසුව වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අතිරේක බස්රථ 1500ක් යොදවා ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ - මහනුවර සුඛෝපභෝගී බස් රථ සේවාව ආරම්භ කිරීමේ අවස්ථාවට අද (10) එක්වෙමිනි.
දිවයිනේ ප්‍රධාන මාර්ග සියල්ලම ආවරණය වන පරිදි මෙම සුඛෝපභෝගී බස් රථ සේවාව ආරම්භ කිරීමට නියමිත අතර දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මහනුවර දුම්රිය මාර්ගය හේතුවෙන් අපහසුතාවයට පත් මගීන්ට මෙම බස්රථ සේවාවෙන් සිය ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගත හැකි වේ.
තවද මෙම අවස්ථාවට සමගාමීව ගාල්ල සහ මාතර බස්රථ නැවැත්වීම සඳහා ඉදිකළ නව බස්රථ පර්යන්තය විවෘත කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ විධිමත් ක්‍රමවේදයකට අනුව කොළඹ - ගාල්ල සුඛෝපභෝගී බස් රථ සේවාව අද ආරම්භ කරන බවත් ජනතා බදු මුදලින් සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලට හානි කරන පුද්ගල කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදීන් ක්‍රියාත්මක කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.


