අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යාමේ කමිටුව මගින් ඉන්ධන සහ බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිතය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කිරීමට තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කරයි.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ඒ අනූව කාර්යාල කාර්යය මණ්ඩල ප්‍රවාහනය සහ ඉන්ධන කළමනාකරණය, විදුලිය සහ බලශක්ති සංරක්ෂණය සහ ආයතනික මෙහෙයුම් ක්‍රියා පටිපාටි වලට අදාළව මෙම මාර්ගෝපදේශ නිකුත් ඛල බවද, මෙම මාර්ගෝපදේශ නිකුත් කිරීමෙන් පමණක් සීමා නොවී ඒවා ඒ ඒ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු මගින් ක්‍රියාත්මක කරනවාද යන්න සම්බන්ධයෙන් පසු විපරමක් කරන බවද පැවසුවේය.
දෙවන වරටත් රැස්වූ රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යාමේ කමිටුව මගින් සතියක් පුරා මේ සම්බන්ධයෙන් පරීක්ෂා කර සියලුම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු වලින් මෙම කටයුතු ක්‍රියාත්මක කිරීම පිළිබඳ ඔවුන්ගේ ප්‍රගතිය ලබාගැනීමට තීරණය කළ බවද ඒ අනූව තීන්දු තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
රජය සතුව දැනට ධාවන තත්ත්වයේ පවතින වාහන 92,000ක් ඇතැයිද එම වාහන ප්‍රමාණයෙන් දිනකට පෙට්‍රල් ලීටරය බැගින් ඉතිරි කරගත හොත් දිනකට පෙට්‍රල් ලීටර් 92,000ක් ඉතිරි කරගත හැකි බවද එය වර්ෂයකට පෙට්‍රල් ලීටර් මිලියන 24ක ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බවද පැවසුවේය.
මෙම මාර්ගෝපදේශ සංග්‍රහය දිගටම පවත්වාගත යුතු බවද ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින්ද දිගු කාලීනව මෙවැනි ආකාරයට ක්‍රියා කිරීම පිළිබඳ අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇතැයිද පෙන්වා දුන්නේය.
මෙම මාර්ගෝපදේශ තරයේ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු පිළිපදිනු ඇතැයි විශ්වාස කරන බව පැවසූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා රජයක් ලෙස මෙවැනි මාර්ගෝපදේශ ක්‍රියාත්මක කළ ද පොදු මහජනතාවටත්පුරවැසියන් වශයෙන් මේ සම්බන්ධයෙන් අවදානය යොමුකර කටයුතු කිරීමට වගකීමක් ඇතැයිද පැවසුවේය.
එක් දිනකට නිවසක විදුලි බල්බයක් නිවා දැමීමෙන් ජාතික විදුලිබල පද්ධතිය සුරක්ෂිත කිරීමට අපට යම්කිසි ආකාරයක දායකත්වයක් සැපයීමට හැකියාවක් ඇතැයිද පැවසුවේය. මෙම මාර්ගෝපදේශ රාජ්‍ය අංශය මෙන්ම පෞද්ගලික අංශයද ක්‍රියාත්මක කරනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා පුරවැසියන් හැටියට සියලුදෙනාගේ වගකීම මෙයට සහාය දැක්වීම බවද වැඩිදුරටත් පැවසුවේය.
ඉදිරියේදී ඇතිවන තත්ත්වය සම්බන්ධයෙන් අපට තවම පුරෝකතනය කිරීමේ හැකියාවක් නැතැයිද එමනිසා ඉන්ධන සහ බලශක්තිය සුරක්ෂිත කිරීම සෑම දෙනාගේම වගකීමක් බැවින් එම කටයුතු මනාව පවත්වාගෙන යාමට සියලුදෙනාගේම සහය ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.


